Thursday, June 29, 2017

ඩෙංගු දින පොත - dengue diary...

විදෙස්ගතව සිට නැවත පැමිණියේ ඩෙංගු උණ ඉවරයක් නැති... ගංවතුර කරදර මැද, කඳු ඉහ මත කඩා වැටෙන දේශයකට ය. මේ මා විටින් විට මුහුණු පොතේ සටහන් කළ ඩෙංගු කතා ය. තව ඉවරයක් නෑ. රටට ආදරේ මිනිස්සුන්ට ආදරේ, තමන්ට වඩා අනුන් ගැන පරාර්ථකාමී වූ පිරිසක් රටට අවශ්‍ය මොහොතක් යැයි මට සිතේ.


මැයි 17 feeling pained

ඔබ දන්නවා ද අප වාට්ටු වේ නේවාසික ප්‍රතිකාර ගන්නා ඇතැම් දරුවන්ගේ අම්මලා මෙලොව හැර ගොස් ඇත්තේ ඩෙංගු නිසා බව... ඒකත් අසාධ්‍ය වන තෙක් පැනඩෝල් බොමින් උණ සෑදුණු පවුලේ අනික් සාමාජිකයන් බලමින් ඉවසන් සිටි නිසා බව. මේ වන විට තව බොහෝ මව්වරුන්, කෙළින් ඉන්න බැරුව ලෙඩ දරුවා ළඟ රැඳී ඉන්නා විට අපි බලෙන්ම වැඩිහිටි කායික රෝග වාට්ටුවට ඇතුලත් කරන බව. ඔවුන් ද ඩෙංගු රෝගයෙන් අසාධ්‍ය බවට පසුව දැන ගන්නා බව . සුව වුන පසුව පැමිණ අප ට පින් දේ. අර මව්වරු අහිමි දරුවන් ගැන බොහෝ දුකක් දැනේ...

සියයට අනූවකට විතර මදුරුවෝ විද්දත් පොඩි උණක් විතර හැදිලා හොඳ වෙනවා අමාරු වෙන්නෙ නෑ. අවුරුදු 5ක් ඩෙංගු ආසාධිත රෝගීන් ඉන්නා වාට්ටුවල වැඩකරද්දී ඕනෑ තරම් මදුරුවෝ විද ඇත අදද එහෙමය. හැදෙන්නේ සියයට 10 වගේ පිරිසකට. ඩෙංගු හැදිලා අමාරු වෙන්නේ නිසි පරිදි ජල සහ රුධිර සාන්ද්‍රණය මැන බලමින් ඒ තත්වය මැනේජ් නොකළොත්. මේ දක්වා බොහෝ මරණ අන්තිම වෙනකම් ගෙදර ඉඳලා අසාද්‍ය වෙනකොට ආපු අය. මට මතකයි මා සීමාවාසික පුහුණුව ලබන කාලේ විශේෂඥ වෛද්‍යවරිය පැවසුවේ. වාට්ටුවේ ඉන්න පේශන්ට් කෙනෙක් ඩෙංගු නිසා නැතිවුනොත් ඒකට වග උත්තර බඳින්න අපිව තමා යවන්නේ කියලයි. ඩෙංගු රක්තපාත තත්වය එක්ක හය හත්දෙනා බලා ගත් කාලයක් තිබුනා.

මැයි 22

ඩෙංගු උණ උපරිමෙන් තියෙන මේ කාලයේ රජයේ රෝහල් වාට්ටු වල විශේෂයෙන්ම අයි ඩී එච් , ළමා රෝහල වගේ තැන් වල ඇඳන් ප්‍රමාණය සේවක ප්‍රමාණය , හෙද වෙද ප්‍රමාණ වැඩි කළ යුතුයි.
දැන් අයි ඩී එච් සිට පැමිණියෙමි. එක ඇඳක ලෙඩුන් දෙදෙනෙක් සිටී ඇතැමුන් බිම ය...අප රෝහලේද කායික රෝග වාට්ටු වල තත්වය මෙසේය. මෙය අද ඊයේ ඇති වූ තත්වයක් නොවේ...මා සීමාවාසික කළ කාලයේද මෙහෙමම ය වෛරස් උණ ඩෙංගු කාලෙට එක ඇඳේ රෝගීන් දෙතුන් දෙනෙකි. මේ අවුරුද්දේ මෙය ඉවරයක් වෙන පාටක් නැත....ලෙඩ හොඳ වෙන්න හෙදකමද විවේකයද අවශ්‍යය
රෝගීන් දෙදෙනා අර සිංගල් ඇඳේ දෙපැත්තට ඔළුව දාලා... සමහරුන්ට කොහොමත් නින්ද යන්නෙ නෑ ඇදෙන් වැටෙයිද බය...
ළඟ කවුරු හරි නවතින්නම ඕනේ එතකොට ඒ අයත් පුටු උඩ හෝ බිම. සමහර අම්මලගේ කකුල් කොට්ට ගෙඩි වගේ.. ඉඳගෙනම ඉඳලා ළමයි ළඟ
ඩෙංගු උණ ඉවරයක් නැත. පිරිසිඳුව අවට තියන්න එමෙන්ම, හොඳ මදුරු දැලක් පාවිච්චි කරන්න. කුඩා වුන් සිටීනම්, මදුරුවන් එළවීම සඳහා වන තෙල් වර්ග ( කුරුඳු තෙල් කදිම යැයි දැන ගතිමි. ඇඟේ ආලේප නොකරන්න බිබිලි ඇතිවේ) ගෙදර හැම තැන ඉසින්න, බබාලාට වෙළඳපලේ ඇති මොස්කිටෝ රෙපැලන්ට් , පැඟිරි තෙල් සහිත ක්‍රීම් හෝ දියර ආලේප කරන්න. මදුරුවන් බහුල නම් MOH දැනුවත් කර දුම ගසා ගන්න. අත හැර දැමූ ඉඩම් හෝ පාළු ලිං වැනි දේ ගැන ඔවුන් දැනුවත් කරන්න. දින තුනකට වඩා උණ නම් ලේ එකක් පරීක්ෂා කර බලන්න...
වෛද්‍යවරුන් ලෙස අප කළ යුත්තේ මහජනයා මේ උවදුරෙන් ගැලවීමේ මග දැනුවත් කිරීම යැයි මට සිතේ. එහෙයින් ගත යුතු ක්‍රමවේදයන් ලියා තබමි.
තව මතක් වෙන දේවල් ලියන්නම් හැකි විටක ! අදත් නයිට් ඔන් කෝල් විත් ඩෙංගූ... ඇන්ඩ් නෝ ස්ට්‍රයික් !


මැයි 28

ක්‍රිටිකල් ෆේස් මොනිටරිං යන ඩෙංගු කේසස් 3 තාම ප්ලේට්ලට් සහ WBC බහිමින් යන 3 ඔක්කොම 6 යි ... මේ ඔක්කොම අස්සේ ඩෙංගු මරණ සහ අමාරුවීම් ඒ විදියමයි. Lets be vigilant about dengue too.

ජූනි 15


මොකක්ද මේ රටට උනේ...

නිසි කළමනාකරණයක් නැතිව තීරණ ගන්නවා මිනිස්සුන්ගේ ජීවන තත්වය නගා හිටවන හැටිද මේ ?
කුණු ට්‍රැක්ටරේ මිනිස්සු කියන්නෙ ඇමතිට කියන්න කියලා
මෙච්චර කල් පොලිතීන් කඩදාසි නොදිරන දෑ වෙනම වෙන් කරලා වෙනම දින වල එකතු කළා
දිරන ඉඳුල් වෙනම දිනයක එකතු කළා


ඒ කසළ වලට වෙනම කළමනාකරය කිරීමක් නැතුව ප්‍රතිචක්‍රිකරණය හෝ නිවැරදි බැහැර කිරීමක් නැතිව කුණුකඳු නාය ගියාට පස්සෙ තවත් ඒකට විසඳුම් ගන්නෙ නැතුව ප්‍රාදේශීය සභාවට කියනවා නොදිරන දෑ එකතු කරන්න එපා කියලා. මිනිස්සු මොකද එතකොට ඒවට කරන්නේ ?
සති තුනක් තිස්සේ කුණු එකතු කරන්න ආවේ නෑ.
අද ඇවිත් ඒ කම්කරු මහත්තුරු කියනවා මහ ඇමතිට කොමසාරිස්ට කියන්නලු... අදාල නිළදාරියට කෝල් කළාම කියනවා ඉහළින් ආපු නියෝගලු අපිට ම කතා කරන්නලු

මේ රටේ ආණ්ඩු පත් කරන්නෙ මොනවටද ? #kunukatha


ජූනි 17
උදේ

"හැම ගෙදරකින්ම ඩෙංගු මරණයක් වෙනකම් ද බලන් ඉන්නේ... අපේ රෝහලත් පිරී ඉතිරී ගිහින්..."


හවස
ගලා නොබසින ජලය මදුරුවන් බෝ වීමට තෝතැන්නක් .. වැඩට එන අතර තුර මගෙහි දකින්න ලැබෙන දේ මෙසේ ජායාරූපගත කරනලදී










Stagnating water is also a source for mosquito breeding.... pic 1 located on road from angoda junction to kelanimulla....
2nd is on old kandy road...


ජූනි 18

දැන් ඩෙංගු හොඳ වෙන තෙලක් තියෙනවලු ඔළුවට බින්දුවක් දැම්මම... අනේ ඔන්න කාට හරි පුළුවන්නම් බෝතල් දෙකක් අපේ රෝහලටයි IDH එකටයි ගෙනත් දෙන්න ... ඇයි දෙයියනේ අපි මේ පැයෙන් පැය ළමයින්ට අම්මලට චූ මනින්නයි,ස්කෑන් කරන්නයි, ලේ බලන්නයි, බොන ටික මනින්නයි එක ඇඳේ දෙන්නා ගානේ දාන්නයි ඕනෙ නෑ නේ....ආයෙ අර වෙද නෝනව කවුරු හරි ස්පොන්සර් කරලා මෙහෙට ගෙන්වගමුකෝ... ඩෙංගු හොඳයි නේ එතකොට.
පසුව ලියමි : මේ කියන්නේ සමච්චලේටවත් තියෙන ක්‍රම පහත හෙලන්නවත් නොවේ. මම අහන්නෙ ක්‍රම තියෙනවානම් ඇයි ඒවා mass usage ගන්න විදිහට දියුණු කරන්න බැරි. අපේ මිනිස්සුන්ට ලෙඩේ මොකක්ද ...හැදුනම මොකද වෙන්නෙ.. වෛරස් එක ඇඟට මොකද කරන්නේ , සංකූලතා මොනවද කියලවත් වටහා ගන්න ඕනෙ කමක් නෑ...ප්ලේට්ලට් අගය කියන එක නෙමේ බලන්නේ pcv සහ leaking. මේ අය ඒකවත් හොයා බලන්නෙ නෑ ප්ලේට්ලට් හෙවත් රුධිර පට්ටිකා ඔළුවේ තියන් කියවනවා

ගස් ලබු කොළ යුෂ ගැන හොයා බලන්නෙ නැත්තෙ ඇයි... ඇයි ආයුර්වේද වෛද්‍යවරු නිහඬ මේ වෙලාවේ ? ඇයි අපේ රටෙන් ගස්ලබු කොළ හෝ කුමක් හරි ඒ කියන ඖෂධ ගැන පර් යේශන කරන්නෙ නැත්තේ...? ආයුර්වේද හෝ බටහිර කුමන ක්‍රමයකින් හෝ මිනිසුන්ගේ පණ බේරන්න ඕනෙ !

ඒ අතරම මිනිසුන්ගෙ බිය ප්‍රයෝජනයට අරගෙන සල්ලි ගරන කූඨ මිනිසුන්ද සිටී. ඩෙංගු කියන්නේ වෛරස් උණක්. දෙයියන්ගේ ලෙඩ කියන පැපොල සරම්ප වගේම ඇඟෙන්ම හොඳ වෙනවා. නමුත් ඒ ඇතිවන ලක්ෂන සංකූලතා පාලනය කරගන්න ඕනෙ... ඒකයි ඇත්ත කතාව. ලේ වල වෙනස්කම් මූත්‍රා පිටවෙන ප්‍රමාණ මනින්න ඕනෙ බොහෝ අය මරණයට පත්වෙන්නේ, ලේ වහනය වීමෙන්, ඇඟේ දියර වැඩි වීමෙන් හිස්කුහර ආශ්‍රිත ප්‍රදේශ වටා වැඩිවන තරල/ දියර පිරීමෙන්, ... එතකොට දියර පාලනය කිරීම ලේ දීම වගේ දේවල් කරන්න ඕනේ මට පුළුවන් විදිහට ඔය පැහැදිලි කළේ...


ජූනි 20 

දරුවන්ට විශේෂයෙන්...පැඟිරි තෙල් හෝ ඒවා අඩංගු ක්‍රීම් වර්ග ආලේපන හෝ දින පතා පාසැල් යාමට පෙර තවරන්න.


ජූනි 28 රාත්‍රී

වාට්ටුවට රාත්‍රී වැඩමුරය සඳහා එද්දිම ඊටකළින් හිටපු වෛද්‍යවරිය කීවේ වාට්ටුව පිරී ඉතිරී ඇති නිසා මට රාත්‍රී කාලය අමාරුම වැඩමුරයක් වනු ඇති බවයි.
ඒක එහෙම්මම වුනා.


වාට්ටුවේ සිටි බොහෝ දරුවන් ළඟ සිටි අම්මලා වෙනුවට අත්තම්මලා ඇවිත් සිටි අතර , සමහර ආච්චිලාට සහ අම්මලාට නම් අපි කියන මෙලෝ දෙයක් තේරුණේ නෑ, ඔය අතර එක පණ්ඩිත සෙයියාවෙන් සිටි ආච්චි කෙනෙක් මගේ ඉවසීම පරීක්ෂා කරමින් උන්නා.
ඇත්තටම දැන් පුරුදු වෙලාම මේ අය විහින් කරන සහ කරගන්නා දේවලට තරහ ගන්නේ නෑ.
ඔය ඩෙංගු උණ වැළඳී ඇතැයි සැකකරන දරුවන්ට අපි ඔවුන්ගේ බර කිලෝගණන සහ රුධිර සාම්පල වල දත්තයන් එක්ක සසඳලා බොන්න ඕනෑ වතුර ප්‍රමාණයක් කියනවනේ. රාත්‍රියේ වාට්ටුවේ පරීක්ෂා කිරීම් එක්ක මූත්‍රාප්‍රමාණත් බලනවා. මේ අර මං කලින් කීව ආච්චි ඉතින් ඔහොම මම අහද්දී කොච්චර බොන්න දුන්නද කියලා " එහෙම නෑ ඔහෙ පොඩ්ඩ පොඩ්ඩ දුන්නා" කීවා
"ඇයි ගාණක් කීවේ නැද්ද ? " මම අහද්දී කියනවා..
"ආ දුවනේ හිටියේ මට කීවේ නෑ කියලා"
ඔන්න ඉතින් එයාට බොන සහ මූත්‍රා මනින හැටි කියා දීලා දරුවගේ තත්වය ටිකක් බරපතල නිසා ඇවිද්දවන්න එපා. ටොයිලට් යන්නම ඕනෙ නම් රෝද පුටුවේ එකෙන් ගෙනියන්න ආච්චී" කියලත් කියලා ඇවිත් ටිකකින් මට පේනවා මේ ළමයව ඇවිද්දවගෙන වැසිකිළි දිහාට යනවා.
ඒ පාර කතා කරලා නවත්තගෙන
"ඇයි මේ ඇවිද්දවගෙන යන්නේ මම කීවා නේද රෝද පුටුවේ ගෙනියන්න කියලා," සුළු සේවිකාව දෙසට හැරී.."ඇයි මෙයාට වීල් චෙයා දුන්නෙ නැත්තේ, ආච්චි වීල් චෙයා ගන්න ටොයිලට් යන්න"
"නෝනා කියන ඒවා මට තේරෙන්නෙ නෑ. ඔය මොනවැයි කියන්නේ මම දන්නෙ නෑ"
මම රෝද පුටුව හෝ වීල් චෙයා යනුවෙන් කිහිප වරක් කියා ඇති නමුත් ඇයට ඒ ගැන වැටහීමක් නොතිබිනි.
මේ රෝහල් වලට එන්නේ බොහෝම අඩු ආදායම් ලාභී පවුල් වල හෝ මධ්‍යම පාන්තික පවුල් වල අය ය. ඉතින් බොහෝ විට ඒ අම්මලාට හෝ ආච්චිලාට සමාජයේ මෙවැනි දෑ ගැන වැටහීමක් නොතිබිනි.
දවසක මට ලියන්න බොහෝ කතන්දර තියේවි. දැන් පාන්දර 2.30 ඩෙංගු පිරුණු වාට්ටුවක සිට ලියමි.

ජූනි 28 උදේ 7.18 රාත්‍රී වැඩමුරය අවසන් කරමින් ඉන්න අතර

නොනවතින යුද්ධයක වාට්ටුව,
රැය පුරා තැනින් තැන ඇඳන් ළඟ
මිසීලා මූත්‍රාම ඉල්ලන.
පැයෙන් පැය මැන මැනම ඉල්ලන
මව්වරුන් නිදි නැතිව වෙහෙසෙන
දාන්නැයි දාන්නැයි කියවන
දරුවනුත් මවුන්ටම පුප්පන
මේ සියල් ප්‍රශ්න මුල්
අප මතම දිග හැරෙන
නොනවතින යුද බිමකි වාට්ටුව...
ඩෙංගු නම් තව ඉවරයක් නොමැත
ending night on call... with dengue , respiratory problems and viral fevers...

ජූනි 29
උදේ...

වාට්ටුවේ ඩෙංගු රක්තපාත උණ තත්වයට පත් වී සිටි පැංචන් පැංචියන් කිහිප දෙනෙකි, අනෙක් අය ඩෙංගු උණ තත්වයෙන් පෙළෙති. එක් පැංචෙක් අද හිනැහෙමින් සිටියේය. ඔහු කැනියුලාව ඇති අතෙන් චිත්‍ර පොතක් තියාගෙන හරි අපූරු චිත්‍ර අඳිමින් ඉන්නා අතර, අපේ ලොකු මිස් ඔහුට ඩෙංගු ගැන චිත්‍රයක් ඇඳ දෙන්න බැරිදැයි ඇසුවේලු.
මේ ඔහු ඇඳි චිත්‍රයයි. අවසර රැගෙන මෙය අන්තර්ජාලයේ පල කළේ යහළුවන්ගෙන් පෝස්ටරයක් සාදාගැනීමට උදව් ඉල්ලමිනි.
රෝහලට කිට්ටු නගරයක ඉන්නා රසික උඩුගම මහතා එසැනින් එය පෝස්ටරයක් කර ලබා දෙන බව පැවසුවේය.
"ඩොක්ටර් එක විදිහකට ඉන්න පුළුවන්නම් මට ඩොක්ටර්ව අඳින්න පුළුවන්" කියමින් වාට්ටුව පුරා ඇවිදිමින් උණෙන් පෙළෙමින් සිටි මට කීවත් මේ වැඩ කන්දරාවත් සමග එක තැනක ඉන්නට පුළුවන් කමක් නැත. දැනටත් එක් වෛද්‍යවරයෙක් උණ නිසා අඩපණව සිටින අතර මම අද මගේ වැඩමුරයට කෙසේ හෝ පැමිණියේ අපහසුතා පැරසිටමෝල් පෙති වලින් මග හරිමිනි. මේ ඒ පෝස්ටරයයි.




 හවස
දින තුනක් පමණ උණ, මස්පිඬු වේදනාව සහ උහුලන්න බැරි කකුල් කැක්කුම සමග මට සිහිවුනේ ඩෙංගුම තමයි. ඩෙංගු වෙන්නත් පුළුවනි, ඩෙංගු රක්තපාත උණත් ඇති ළමුන් , ඩෙංගු උණ ඇති ළමුන් වෛරස සෙම්ප්‍රතිශ්‍යාව යන මේ සියල්ල ඇති ළමුන් සමග හොඳටම කාර් යය බහුල වාට්ටුවක වැඩ කරද්දී මුලින්ම ඔළුවට එන්නේ ඩෙංගුම තමයි. හැම අවුරුද්දකම ඒක එහෙම්මමයි. මුලින්ම දවස් තුනක් ඉවසලා ලේ එකක් චෙක් කරන්නේ, ඒකේ වෙනස්කම් නොවේවා යි සිතමින්.

හැබැයි ගිය අවුරුදු වලට වඩා, මෙවර නම් හිත ගොඩක් කරදර වුනා. මේ දවස් වල විදෙස්ගතව ඉන්න සැමියා එන්නෙත් ලබන මාසයේ නිසා සියලු වැඩකටයුතු මගේ කර පිට, නමුත් ඩෙංගු නම් ? කියන සැකයෙන් අප දෙදෙනාම කතා බස් කළේ එහෙමනම් කළයුත්තේ මොනවද කියලයි.
බැරිවෙලාවත් අමාරුම වෙලා ජීවිතේ නැති වුනොත් කළ යුතු දේ ගැනත් මම කියවලා තිබුනේ උණ අධික ලෙස වද දුන් නිසා වෙන්න ඇති.

අද උදේ වාට්ටුවෙන් කළ ලේ එකෙන් කියැවුනේ සාමාන්‍ය වෛරස් උණක් කියා නිසා දැන් මම මේක ලියන්නේ සැනසීමෙන්....

හැම දාම ඇහෙන ඩෙංගු මරණ නිසා, ඩෙංගු උණ සුළුවෙන් හිතන්න පුළුවන් කාලයක් නෙමෙයි මේක.

මේ දිනවල සිත නිවන කතා...
"ඩොක්ටර්, ඇඳ 26 බබා මූත්‍රා කළා" ඩෙංගු වෛරසය ශරීරගත වූවන්ගේ දියර හුවමාරුව තරම් වැදගත් දෙයක් තවත් නෑ. හරියට බොන ටික මූත්‍රා මගින් පිටවෙනවා දැයි බැලීමත් එක උපක්‍රමයක්. ඉතින් මේ දවස් වල මූත්‍රා මැනීම සහ දියර ප්‍රමාණ පාලනය කිරීම බොහොම සීරුවෙන් සිදුවන දෙයක්
"ඇඳ 38 ට ලීකිං නෑ" ප්ලාස්මා තරලය ඇඟේ හිස් අවකාශ වලට, ඉන්ද්‍රියයන් වටේ පිරීම නිසා බොහෝ සංකූලතා ඇතිවේ. මෙය ලීක් වෙනවා හෙවත්, පිටතට පෙරී යනවා කියන යෙදූමෙන් හඳුන්වනවා...

Monday, June 26, 2017

ඩෙංගු උණට බෙහෙත් මොනවද ?

 දින කීපයකට කලින්, ආවා අත පය සීතලම සීතල වෙලා ලොකු දරුවෙක්,
ප්ලේට්ලට් ඊට කළින් දවසෙ, 190 එදා 70 , pcv ඉහළම අගයක්. හුස්ම ගන්න අමාරුයි. පපුව රිදෙනවා. බඩ දකුණු පැත්ත හොඳටම රිදෙනවා. ඇඟ ඇතුලේ හිස් ඉඩවල් තරල වලින් පිරිලා.  ඇගේ අත් පා සියල්ල අයිස් කුට්ටියක් වගේ සීතලයි.

දවසෙන් platelet බහින්න පුළුවන්ද ? ඔව්.
දින එකෙන් දෙකෙන් platelet නගින්නත් පුළුවන්ද ? ඔව්,

මොකද, ඩෙංගු කියන්නේ වෛරසයක්. මේ වෛරසය අපි එකිනෙකාගේ වෙනස් ශරීර වල වෙනස් ආකාරයට ක්‍රියාකරන්නේ අපේ ශරීරයෙන් දක්වන වෙනස්කම් සහ සටන් කරන ක්‍රමය අනුව. ඒ කීවේ මොකක්ද කියලා මම පැහැදිලි කරන්නම්.

ඉස්සර මිනිස්සු වෛරස් උණට කළේ කොත්තමල්ලි වෙනිවැල්ගැට වගේ දේවල් බීලා හොඳට ද්‍රාවණ ඇඟට දාගෙන විජලනය වෙන එක නතර කරගන්න දින තුනක් උපරිම උණ අමාරුකම් තිබිලා හොඳ වෙනවා, ඇඟෙන් බෙහෙත හදාගෙන ඒකීවේ ප්‍රතිදේහ හදාගෙන වෛරස් වලට විරුද්ධව සටන් කරන නිසා.
ඉතින් අර තෙල් මේතෙල් හෝ ගල් කෑලි වලින් කරන්න පුළුවන් දෙයක්ද ඒක කියලා මටනම් හිතාගන්න බෑ. ඒක මගේ අවිශ්වාසෙ නේ. එනිසා ඔය විශ්වාස කරන අය ඒ ගැන කලබල වෙන්න එපා. මොකද අපි ඩෙංගුම අවුරුදු ගාණක් තිස්සේ දැකලා දැකලා, ඒකේ ක්‍රමවේදය , අවුල් වෙන තැන් සහ හරියටම හරිගස්සාගෙන ගොඩ දාගන්න ක්‍රම අපිට කියා දීලා සහ අත්දැකීමෙන්ම දන්නවා.

NS1 antigen positive නම් ඒ කියන්නේ ප්‍රතිදේහජනක පොසිටිව් නම්, දිනපතා කවුන්ට් කරලා ප්ලේට්ලට් හොඳයිනේ කියලා ගෙදර ඉන්න එපා. වෛද්‍ය උපදෙස් අරගන්න, වඩා හොඳ ඇඩ්මිට් වෙන එක.
antigen හෙවත් ප්‍රතිදේහ ජනක නෙගටිව් හෝ නැති වෙලත් ප්ලේට්ලට් බහින්න පුළුවන්ද ? ඔව්... ඒ ටෙස්ට් එකේ අවුල් තියෙන තැන් හමුවෙලා තියෙනවා. ඒක නෙගටිව් වෙලා සතියකින් පමණ පසු ප්‍රතිදේහ ටෙස්ට් එක කළාම ඒක පොසිටිව් වෙච්ච අවස්ථා තියෙනවා. ප්‍රතිදේහ antibody ටෙස්ට් එක කරන්න ඕනෙ ටිකක් කල් අරගෙන මොකද ඇඟේ ප්‍රතිදේහ හැදෙන්න කල් යනවා.
වයිරස් උණක් නේ, ඇඟෙන්ම ප්‍රතිදේහ හදලා ඒවට විරුද්ධව සටන් කරනවා. අමාරු වෙන්නේ ඇතිවන සංකූලතා වලින්.

මූත්‍රා ප්‍රමාණ මනින එක සහ දියර පාලනය තමයි මැජික් එක ! ඒක හරියටම කරගත්තොත් ගොඩ.


එදා ආපු දරුවගේ මුත්‍රා ගිහින් තිබ්බෙ නෑ ඒවෙනකොට පැය 8 විතර . ඒක මහ නරකම වැඩක්.. එනිසා අපි පීසීවී එකක් ඉක්මනින් බැලුවා, ඒ කියන්නේ, ඇඟේ ලේ වල ෛසල ප්‍රමාණ තරල ප්‍රමාණ අගය එතකොට ඒකෙන් අපිට විජලනයක් තියෙනවද කියලා හොයාගන්න පුළුවන්. ඒවගේම නාඩි, හර්ද ස්පන්දනය, රුධිර පීඩනය, සහ බාහිරින් අපිට පෙනෙන දැනෙන දේ . හුස්ම ගනිද්දි පෙනහළු දෙකේම එකවගේ වාතය පිරෙනවද, අඩුද වගේ දේවල් නලාවෙන් ඇහෙනවා. එතකොට අර ඇඟේ හිස් අවකාශ වලට, ඉන්ද්‍රියන් වටා තරල පිරෙන එක අඳුරගන්න පුළුවන් කළින්ම. vascular leaking කියලා රුධිර නාල වල තරල අපේ ශරීරයේ හිස් අවකාශ වලට පිරෙන අයුරක් මෙහිදී දක්නට ලැබෙනවා
ස්කෑන් කරන්නේ පස්සෙ. අපි හොයාගත් දේවල් හරියටම හරිද බලන්න.


ඉතින් කළින් කීවා වගේ... වෛරසය ශරීරගත වුනත්, ලක්ෂන පහළ වෙලා රෝහල් ගත වෙන්න වෙන්නෙ 10% වගේ ප්‍රමාණෙකට, ඒකෙනුත් ඩෙංගු රුධිර වහනය වීම් සහිත රක්තපාත තත්වයට යන්නේ 1% විතර ප්‍රමාණයක්.

ඒක වාට්ටුවල වැඩ කරද්දී කොයි තරම් ඇත්තද කියලා හිතෙනවා. මේ මාස කිහිපයක් ම... ඩෙංගු අධික පළාත් ආශ්‍රිතව වසන නිසා ඩෙංගු උණ ලක්ෂන සහිත ළමුන් දෙතුන් දෙනෙක්වත් දිනකට ඇඩ්මිට් වෙනවා ඒ අයගෙන් එක්කනෙක් හෝ සමහර විට සියලු දෙනාම අඩු ප්ලේට්ලට් සහිතව සහ අසාධ්‍ය තත්වයට පත් වෙනවා. ඒ අතරිනුත් ශරීර අභ්‍යන්තරයේ තරල එක් රැස් වීම් සහිතව "leaking" කියන්නේ රුධිර වහන තත්වයන් සහිතව අසාධ්‍ය වෙන්නේ එක් අයෙක් හෝ දෙන්නෙක්...

දැන් ප්‍රතිශතයක් ලෙස ගත්තොත් අපි 90% දෙනාට ඩෙංගු උණ වැළඳී රෝගාතුර වෙන්නෙ නෑ. 10% විතර දෙනෙක්ට හැදෙනවා, රෝහල් ගත වෙනවා, නමුත් ඒකෙනුත් අසාධ්‍යම වෙන්නේ 1%.කට.


අනික උණ දැඩිව තියෙන වෙලාවට, NS1 antigen හෙවත් ප්‍රතිදේහ ජනක පොසිටිව් , තියෙන වෙලාවට අන්න ඒ පුද්ගලයගෙන් ලේ බොන මදුරුවගේ ශරීරයට වෛරසය ඇතුල් වෙන්න පුළුවන්. නමුත් ඒ සැනින් ගිහින් විද්දට අවට අයට බෝ වෙන්නෙ නෑ. වෛරසය මදුරුවගේ ඇඟෙත් යම් කාලයක් තියෙන්න ඕනෙ. (සතියක් විතර ) ඉන් පස්සෙ විද්දම තමයි වෛරසය බෝ වෙන්න පුළුවන්. එතකොට නෙට් දාන්න කියන එකත් ප්‍රායෝගිකයි.. උණ තියෙන දින දෙක තුනේ ( viraemia ) විරේමියා හෙවත් වෛරසය ලේවල ඇති කාලය, සහ ඇන්ටිජන් පොසිටිව් වෙලා දින කිහිපයක් යන තෙක්.


දැන් බොහෝ අය හිතනවානේ ප්ලේට්ලට් නග්ග ගත්තොත් ඒක තමා ප්‍රතිකර්මය කියලා. ප්ලේට්ලට් බැස්ම කියන්නේ දර්ශකයක් විතරයි. ඒ වගේම සුදු රුධිරාණු අඩු වීම, නියුට්‍රොෆිල් අගය අඩු වීම, pcv අගය.. මේ සියල්ල බලන්න ඕනේ. යමෙක් ප්ලේට්ලට් ගාන කියලා උපදෙස් පතනවානම් ඒක කරන්න බැරි වැඩක්.

ඩෙංගු උණ ලක්ෂන ගැන අපට වඩා සමාජය දැනුවත් බව සැබැවි නමුත් එහෙනම් ඇයි අපිට මේ මරණ වලක්වා ගන්න බැරි.

ගොඩක්ම ඒකට හේතුව, අපේම නොසැලකිල්ල. රෝග වාහක මදුරුවන් බෝවන තැන් ගැන සැලකිල්ලක් නැතිවා වගේම, උණ හැදුනම තමන් ගැන බලා ගන්න උවමනාවකුත් නෑ.

එක තාත්තෙක් තමන්ගේ දරුවෝ තුන්දෙනාගෙන් දෙන්නෙක්ම ඩෙංගු උණ හැදිලා නවත්තගෙන හිටියා. අම්මා නැතිවෙලා තිබුනේ ඩෙංගු උණෙන්. දරුවන්ටත් උණ කියමින් ගෙදර වැඩ පළ කරමින්, තාත්තාට උණ ට ගෙනාපු බෙහෙත් බොමින් ඉඳලා ඒ අම්මා නහයෙන් ලේ ගලලා ගෙදර කලන්තෙ දාලා මැරිලා වැටෙනකන්.

මෙහෙම කතා ඕනෙ තරම්... ගොඩක් දරුවො එක්ක එන අම්මලාව අපි යවනවා වැඩිහිටි වාට්ටු වල ඇඩ්මිට් වෙන්න. බලද්දි අම්මලටත් උණ.

ඉතින් දවස් තුනකට වඩා උණ තියෙනවනම් අනිවාර් යයෙන් වෛද්‍යවරයෙක් හමුවෙලා රුධිර පරීක්ෂනයක් කරගන්න. ඩෙංගු ඇන්ටි ජන් උණ ගැනී පළමු දිනම හෝ දෙවෙනි දින කිරීම හොඳයි. සාමාන්‍ය රුධිර පරීක්ෂනයක් ඇති. ඒකේ සෛල ගණන් මගින් සහ පැක්ඩ් සෙල් වොලියුම් කියන රුධිරයේ සංඝටක වල ප්‍රමාණය යන මේ දත්ත වලින් වෛද්‍යවරයෙක්ට ඩෙංගු උණ හෝ නොවන බව අනුමාන කළ හැක.
උණට පැරසිටමෝල් ඇරෙන වෙනත් වේදනා නාශක ගන්න එපා ( උදා  ibuprofen, diclofenac sodium ගන්න එපා !!! )

අවශ්‍යම දේ හරියට මැනලා ශරීරගත කරන්න ඕනෙ තරල ප්‍රමාණයන් ඒ ආකාරයෙන්ම දෙන එක. ඒකට ශරීර ස්කන්ධය අනුව සහ රුධිර පරීක්ෂාවේ අගයන් සහ පිටවන මූත්‍රා ප්‍රමාණය මැන බලා ඒ අගයන් එක්ක සංසන්ධනය කරමින් තමයි බර අනුව අවම ප්‍රමාණ මෙන්ම උපරීම ප්‍රමාණ තීරණය කළ යුත්තේ. ඒකට රෝහල් ගත වීම අවශ්‍යමයි.

අර මම කළින් කීවා වගේ හරියට මේ දේවල් කළොත් ඩෙංගු රක්තපාත උණ තත්වය උනත් හොඳින් පාලනය කර ගත හැකියි. ඒත් ගෙවල් වල ඉඳගෙන ගොඩ වෙදකම් කරමින් අන්තිම මොහොතේ අමාරුම වෙලා ,රෝහල් ගත වුනාම නම්, මේ තත්වයෙන් ගොඩ ගන්න අමාරුයි. අවයව ඉන්ද්‍රිය පද්ධති වලට එතකොටත් වෙන්න පුළුවන් හානිය සිදුවෙලා නිසා.

අනික තමයි දරුවන් වුනත් බොන්න බෑ කියද්දී අම්මලා ආ එහෙනම් කමක් නෑ කියලා නිකම් ඉන්න එක.. එහෙමත් නැත්නම් "කන්නෙ නෑ බොන්නේ නෑ අනේ කවන්න " වගේ දෙයක් ලෙඩුන් උතුරා ගලන වාට්ටු වල එහෙමෙහෙ දුවමින් හෙදකම් කරන මිස්ලාට කියන එක. සේලයින් එකක් එල්ලනකම් ඔය දේ මතුරන එක.

අපි නම් ඩෙංගු උණ රෝගීන්ට නම් බොන්න කියන්නේ ජීවනී, ඒකත් අපි කියන ප්‍රමාණයකට තමයි. ඒක ගණනය කරන්නේ යන මුත්‍රා ප්‍රමාණය, ශරීරයේ බර සහ pcv වැනි අගයන් එක්ක සංසන්දනය කරලා. ගණනය කරලා.


ඊළඟට ආහාර, කඩේන් ගේන ඒවා නොදෙන තරමට හොඳයි. ඔය පිටට පාචනය , බඩ එළියේ යෑම වගේ දෙයක් ඇති වුනොත්. අපේ වාට්ටුවෙත් බබාලගෙ ලොකර් උඩ තියෙන්නෙම , ගෑස් පැණි බීම, කලරින් පුරවපු බෝතල්.
මම අම්මගෙන් අහන්නේ " ඔය බීම එකේ තියෙන ඒවා දනන්ව ද? ලේබල් එක කියවන්න, නොදන්න ජාති තියේ නම් දෙන්න එපා. " කියලයි

කොහොමත් ලෙඩින් ඉන්නකොට කඩ කෑම ගෑස් බීම නම් දෙන්නම එපා. ඊට අමතරව රතු පැහැය, හෝ ඊට කිට්ටු පැහැය ඇති කිසිම දෙයක් දෙන්න එපා. මොකද හදිසියේ වමනේ ගියොත්, මලපහ ගියොත් එහි රතු පැහැය තිබුනොත් අපට බේරුමක් කරගන්න අමාරුයි ඒ ලේ වමනේ යෑමක්ද නැත්නම් ආහාර වල ඩයි නිසා හෝ බීට්‍ රූට් නිසා වෙච්ච රතු පැහැ වීමක්ද කියලා.

ලෙඩ හොඳවෙන්න සියයට හැත්තෑ පහක් පමණ නිසි ආහාර ජලය සහ සනීපාරක්ෂාවයි වැදගත්. එනිසා අම්මලාට, බලා කියා ගන්නන්ට විශේෂ වගකීමක් තියෙනවා කුඩා දරුවන් සහ ඇඳන් වලට සීමාවූ වයසක රෝගීන් වෙනුවෙන් කරන්න !

උපුටා ගැනීම හෝ පිටපත් කිරීමට ප්‍රථම අවසර ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
කළින් ලියූ මගෙම ලිපිය ! https://anithkona.blogspot.com/2017/04/blog-post_68.html

Thursday, June 22, 2017

කිලෝ පහේ බබෙක් ?

එදත් සුපුරුදු පරිදිම බොහොම බොහෝම වැඩ රාජකාරි අධික දවසක් වුනා අපෙ අනිත් කොනේ මහ රෝහලට.
අප වාට්ටු වල සැත්කම් සඳහා වුන දිනය නිසා වෛද්‍යවරුන්ගෙන් සමහරු හිටියේ ශල්‍යාගාරයේ. මමත් හිටියේ එදින ශල්‍යාගාරයේ සැත්කම් සඳහා සහභාගි වෙමින්.

යුද්ධය ඉවර වුනත් එක්කම කාලය නිසා අප උරමත විශාල වැඩ රාජකාරි කන්දරාවක් පැටවී තිබිනි.
මා කලින් කල ලියූවාක් මෙන්, ඔවුන්ට සියලු කරදර වලට විසඳුම රෝහලම විය. සියල්ලෝම කඳවුරු වල සිටි අතර නැවත නිවෙස් බලා ගියේ සුළු පිරිසකි.

සැත්කම් අතර තුර අප වෙත ආ දුරකථන ඇමතුමක් " POA 32, no clinic visits, no FHB heard, No fetal parts felt, abdomen is hard and it looks like a very big mass, os closed, Scan shows a mass, no fetus, but looks 38 weeks."

කියවන ඔබ හිතනවා ඇති මේ මොන හරුප ද කියලා, මේ  වෛද්‍ය බසින් කීවම තේරෙන්නෙ නෑ කියලා දන්න නිසා මම ඔන්න පැහැදිලි කරලා ලීවා.


එයින් කියවුනේ මෙන්න මෙහෙම දෙයක් අටක ගැබිණියක් අධික වේදනාවෙන් ඇවිත් නමුත් කිසිම ක්ලිනික් එකකට ගිහින් නෑ. ආපු ගමන් පරීක්ෂා කළාට තද ලොකු රවුම් ගුලියක් මිසක් බබාගේ කොටස් අහුවෙන්නෙ නෑ. ස්කෑන් එකෙත් මොකුත් පේන්නෙ නෑ.. හැබැයි බඩ නම් සති 38 වගේ තමයි. සර් ගෙන් අහන්න එවන්නද කියලා.,.. කැක්කුම වැඩී එයා කියන්නේ දරුවා ලැබෙන්න කියලයි"

එවෙලෙම සියලු කටයුතුූ සූදානම් කර ඇයව ශල්‍යාගාරයට එවා තිබුනා. විශේෂඥ වෛද්‍යවරයා ඇය ගෙනා සැනින්, ශල්‍යාගාරයේ තිබූ ස්කෑන් මැෂින් එක ආදාරයෙන් ඇය ගර්භනී නොවන බවත් ඉතා විශාල යමක් මුළු උදරයම වසා ඇති බවත් කීවා.

නමුත් ඒ අම්මා පිළිගත්තේ නෑ අපි කියන දේ...
" නෑ මට බබෙක් ලැබෙන්න හිටියේ. මම මූත්‍රා පරීක්ෂනේ කළා, මම විටමින් බීවා..... මට බබා දඟලනවා දැනුනා, මට වමනෙ ගියා. මම ක්ලිනික් ගියා එක සැරයක්. මම ඇඳුම් මැහුවා සේරම අරන් ආවේ"
ඔව් ඇය කූඩයක් පුරවලා අලුත උපන් දරුවට අවශ්‍ය සියළු දෑ රැගෙන ඇඩ්මිට් වෙලා තිබුනා.

ඔබම හිතන්න මේවා ඇහෙද්දී අපේ මනස කොයි තරම් සසල වෙනවාද කියා. හරි යට ක්ලිනික් ගියේ නැති හේතුව ඔබ දන්නා පරිදි යුද්ධයම තමා. එතකොට මේ අම්මා ඉන්පසුව හෝ ක්ලිනික් එකකට යොමු වුනේ නෑ.

ඇයට සියල්ල කිහිප විටක් පහදා දී, ඇගේ සැමියා නෑයින් පවා ගෙන්වාගන්නට උපදෙස් දුන් පසු ඇය එවෙලෙම සැත්කමට භාජනය කරනවා හැර වෙනත් විසඳුමක් අපට තිබුනේ නෑ. ප්‍රසව වේදනාවෙන් මෙන් ඇය කෑ ගසමින් හිටියා.

විශේෂඥ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සී කුමාරසිරි මහතා සිදු කළ සැත්කමට සහයක වුනේ මමයි. අපේ බ්ලොග් ලියපු deeps නංගී දැන් කඳු තරණය කරමින් යනවිට යුරෝපයේ අපි කඳු නැග්ග හැටි කියන්නට ගොස් මට  ඒ අතීත ජායාරූප සහිත හාඩ් එක පිරික්සන්න හිතුනා. එහි ෆෝල්ඩරයක වන්නි මතක මෙසේ එක් රොක් වී තිබුනා.

ඇත්තෙන්ම අපිව පුදුම කරමින් එළියට ආවේ බබෙක් ද ? හිතා ගන්න පුළුවන්ද කිලෝ පහකට කිට්ටු මේ අමුත්තා කවුද කියලා.

ඇගෙම ඩිම්බ කෝෂයක ඇතිවූ පිළිකාවක්. මේක අපි පරීක්ෂා කරන්නට ව්‍යාධවේදී පරීක්ෂනවලට පවා යැව්වා. ඇයගේ සියලු සාම්පල ලබාගෙන පිළිකා සඳහා දිගින් දිගටම පර් යේෂන සඳහා ඇයව යොමු කළා.
ඒවගේම ඇගේ මනස හදන්නත් සෑහෙන්න අමාරු වුනා...ඒකට මනෝ වෛද්‍ය සහය පැතුවා.‍

දරුවෝ අවශ්‍ය ආදරණීය අම්මලා තාත්තලාට දරුවෝ නැති අතර අනවශ්‍ය අය දරුවන් පහ හය වදති. මේ ලෝක ධර්මතාවය සකස්වී ඇති හැටි පුදුමයි.


පින්තූර ගත්තේ : නිර්වින්දක වෛද්‍යවරයා.
කළු සුදු කළේ ආචාරධර්මයන්ට ගරු කිරීම වස් නරඹන අය තුල ජුගුප්සාජනක හැඟීම් අවම කිරීමටයි.
මගේ අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම් !

Tuesday, June 20, 2017

; තිතයි කොමාවයි ජීවිතෙයි !

මොකක්ද ඔය ටැටූ එක ?
මා අසල හිඳගෙන සිටි තරුණ විදේශීය ශිෂ්‍යාවගෙන් මම විමසුවෙමි. 

; මේකද ?  ඇය ඇගේ වම් අතේ මැණික්කටුව සමීපයේ තිබුනු මේ තිත සහ කොමාවක් සහිත සලකුණ පෙන්වමින් ඇසීය.

"මේ මට මතක් කර දීමක් ! මම ජීවිතේ අත හැරියේ නෑ කියලා."
"මට පැහැදිලි මදි" මම කීවෙමි.  ලිං මැඩියෙක් සේ ජීවත් වූ කාලයක් ගෙවමින් සිටි අපට අන්තර්ජාලය දැන ගන්න ලැබුනෙත් මේ විදේශගතව ඉගෙනුම ලැබූ කාලයේදී ය. අපට එකල විශ්වයම අතැඹුලක් සේ දැනගනන්ට ලැබුනේ මුතුහර සඟරාව, සමුදුර පුවත්පත හෝ නවයුගය වැනි සඟරා මගිනි. රූපවාහිනිය නැරඹුවේ නැති තරම්.

"මම ජීවිතේ එක්තරා කාලයකදී, දැඩි ලෙස විශාධියෙන් පෙළුනා. මව පියා දික්කසාද වී, මා සිටියේ මව එක්ක, ඇයට මා ගැන බලන්නට කාලයක් තිබුනේ නෑ. මම පාසැලේදී පවා ටිකක් කරදරකාරී ලෙස හැසිරුනා. මම පහළොස් හැවිරිදි වියේදී මට එය තවත් දරාගන්න බැරි වුනා. මට අවුරුදු දාහතක් පමණ වෙන විට මගේ මවත් විද්‍යාඥවරියක් නිසා මටත් ඉගෙනීම ගැන ලොකු පීඩනයක් තිබුනා. මට ජීවිතේ අත් හරින්නම හිතුන දවසක, මම ජීවිතේ නැති කරගන්න හිතුවා. අපි හිටිය තට්ටු ගොඩනැගිල්ලේ උඩින් පනින්න හෝ රේල් පාරේ කෝච්චියට පනින්න, මම හිතුවා. නමුත් මම කතාවක කියවූ දෙයක් සිහි වුනා. මම පාසැලේ ගුරුවරියකට කීවා. අවුරුද්දක් පමණ මම උපදේශනයට පවා යොමු වුනා. ඒ සිදුවීම මතක් කරගන්න. මම ජීවිතේ අත් හැරියේ නැති බව මටම මතක් කර දෙන්න මේ "  සෙමි කෝලන්  "   ටැටූ එක මට ගහගන්න හිතුනා. 


මේ විදේශ රටවල මේ දේවල් ගැන බොහෝ එළිපිට කතා කරන නිසාම. මනසට සිදුවිය හැකි දේ ගැන බොහොම විවෘතව මිනිසුන් දැනුවත් කරන නිසාම, සමාජය දැනුවත් ! එනිසා එකිනෙකා උදව් කරගන්නවා. 
නමුත් ඒ අතර දිවිනසාගැනීම් නැත්තේද නෑ. 

පසු කළෙක මගේ මව් බිමේ පශ්චාත් යුද සමයේ උතුරේ රෝහලක මානසික රෝගී අංශයේ සේවය කරද්දී මට හැම වයස් කාණ්ඩයකම අයවලුන් ජීවිතේ නසාගනන්ට තැත්කර අවසානේ රෝහලේ නතර වුන හැටි මම දකිමින් සිටියා. 

ජීවිතේ අමාරුයි තමයි. කරදරයි.
ආර්ථික ප්‍රශ්න, රැකියා ප්‍රශ්න
ඉගෙන ගන්න ක්‍රමයේ ප්‍රශ්න
හමුවන මිනිසුන්ගෙන් ප්‍රශ්න
පොදුවේ හැමෝම ඉන්නේ ලොකු පීඩනයකින් , ආතතියකින්. ඒක ට්‍රැෆික් එකේ පැයක් එහෙ මෙහෙ ගියොත් තේරෙනවා.
නමුත් මිනිසුන්ගේ මනස හැදීම ගැන අපේ රටේ කිසිම වගකීමක් ගන්නෙ නෑ. කිසිම ආයතනයක මම දන්න තරමින් මානසික සෞඛ්‍යය හොඳින් පවත්වාගන්න, ඒ ඒ අයගේ ප්‍රශ්න ගැන සාකච්ජා කරන්න මනෝවෛද්‍ය උපදේශන සේවා පවතින්නේ නෑ. මිනිසුන් මේ පීඩන නොයෙක් විට පුපුරා යනවා. දරා ගන්නට බැරි තරම් වෙන විට ජීවිතේ අත් හරිනවා. 

අපට හමුවෙන බොහෝ අය අපට ආශිර්වාද නොවී සාපයක්ම වෙනවා. නමුත් ඒ සියලු කරදර ඉවසන්න අපි පුරුදු විය යුතුමයි.

ටැටු හෙවත් පච්ච නොගැසුවත්  "සෙමි කෝලන්" semicolon  අපි හැමෝගෙම ජීවිත වල තියෙනවා ! මේ ලියන මමත්,  මේ කියවන ඔබත් අනන්ත අප්‍රමාණ තරමක් පීඩන හමුවේ ජීවත් වීම තෝරාගත් බව මම දන්නවා. 

එනිසා අපි මේ කරදර කාර ජීවන අරගලයේ මග නැවතෙන්න හදන අපේම අයට සහයක් වෙමු ! 
දරාගන්න බැරි තරම් ප්‍රශ්න කවදාවත් බොහෝ කල් පවතින්නෙ නෑ. 
ඒ වෙලාවට කරන්න පුළුවන් දේවල් අපි ලැයිස්තුගත කරමු.

1.කතා කරන්න  - හොඳම යාළුවෙක්ට, තමන්ගේ ප්‍රශ්න වැඩි කරන සුළු අයට කතා කරන්න එපා. ඒවා ප්‍රචාරය කරන අයට කතා කරන්නත් එපා. එවෙලෙට ප්‍රශ්නෙ කතා කරන්න එතකොට ඒ බර සැහැල්ලු වෙනවා.
මමත් කිට්ටුම යෙහෙළියන් කිහිප දෙනාත් අන්තර්ජාල ගෘප් චැට් එකක් හරහා හැමදාම අපේ ජීවන අරගල කරදර, විඳදරාගැනීම් අත් හැරීම් බෙදා හදා ගන්නවා.
විශ්වාස කරන්න අපි බොහොම සැහැල්ලුවෙන් ජීවිතේට මුහුණ දෙනවා. හිතෙන් කරදරේ අත් ඇරියම ඒක අපේ හිතට කරදරයක් වෙන්නේ නෑ.
කරදර ගොඩ කලක් පවතින්නෙත් නෑ. 

2. සිංදුවක් අහන්න ! චිත්‍රපටියක් බලන්න ! පොඩ්ඩකට හරි කරදර කාරී සිතුවිලි අමතක වෙනවා.

3. මනෝ විශ්ලේෂණ උපදේෂන කරන තැන් ඕනෑ තරම් තිබෙනවා. ළඟම ඇති රෝහලේ මනෝවෛද්‍ය ඒකකය වෙත යන්න. ගමේ රෝහලේ ඉන්න ඕප දුප හොයන සේවක කට්ටිය නිසා අවුල් නම් ඊට එහා නගරෙකට යන්න"

හිතමින් කල් ගත කරන්න එපා ! මේ ලියන මම උනත් ජීවිතේ කරදර කාලවලදී ජීවිතේ අත්හැරියා නම් අද ලබා තිබෙන කිසිම ජයග්‍රහණයක් මට ළඟා වෙන්නේ නෑ. 

මැරෙන්න හිත හදා ගන්න ලේසියි. මොකද ඒ මොහොතේ දැනෙන පීඩනය දැඩි නිසා. 
නමුත් ඒ මොහොත ගත කරගන්න පුළුවන් ! ඒ ඔබේ සිතේ ශක්තිය නිසා
එදා අත් නොහැරිය ජීවිතේ අද බොහෝ අයට ආශිර්වාදයක් සේ සකස් කරගත් අය බොහෝ ය 
වෛද්‍යවරියක් වෙන්නට ඉගෙන ගත් මා අසල සිටි ශිෂ්‍යාවද එවැන්නියකි.
මම කැම්පස් තේරුනා කියමින් වාට්ටු කොරිඩෝවේ අතේ එල්ලුණු තරුණියද එවැන්නියකි.
මේ කියනව ඔබද එවැනිම වූ ජයග්‍රාහකයෙකි.
එනිසා එන්න අපි ජීවත් වෙමු ! ඒකයි අමාරුම කාරිය.

උපුටා ගැනීමට පෙර අවසර ගන්නා ලෙස ඉල්ලා සිටිමි.
images from internet ! 

Thursday, June 15, 2017

කටකාරිලා දෙන්නයි බොහොම සොඳුරු හෝරා කිහිපයයි !

අද මට හරිම කටකාර දැරියක් මුණ ගැහුනා... ඒ ගැන ලියූ සටහනත් එකතුකරන්න හිතුවා.

Met the most talkative 7 year old today who made me speechless...

මොකද්ද ඩොක්ටර් මගෙ බඩ රිදෙනවා
ලේ එකක්වත් බලන්නකෝ
ස්කෑන් එකත් නෝමල් ලු, අරයගෙත් නෝමල්ලු, මම හිතන්නෙ මැශින් එක කැඩිලද කොහෙද...

මම : ඇයි ඒ ?

"ඉතින් මගෙ බඩ තාම රිදෙනවනේ මැශිම හොඳනම් ලෙඩේ පේනවනේ...

ආයෙ ටිකකින්
" මේ ඔයාට ඔය බටේ දිගේ ලෙඩ ඇහෙනවද ?"

"නෑ පුතේ සද්ද ඇහෙනවා"

" අම්මෝ මම හිතන ඒවත් ඇහෙනවා ඇති" තමන්ටම කියා ගනී...

මට නම් හිතෙන් හොඳටම හිනා...
"අම්මෙ මම ඩොක්ටර් කෙනෙක් වෙනවා, එතකොට මටත් අහන්න පුළුවන් බටෙන් "  ඇය ජයග්‍රාහී හිනාවක් ඇතිව අම්මාට කියයි.
"ඇත්තටම බඩ රිදෙනවා හොඳේ මම රඟපාලා තෑගි ගන්නද ? ඔයාලා මට සල්ලි දෙනවද මෙහෙමෙම රිදෙනවා කිව්වම නෑනේ ... ඉතින් මං ඇත්තම ඇත්ත කියන්නෙ ඩොක්ටර් ඇන්ටි."
"මේ මං මේ බෙහෙතත් බිව්වා කලින් අර අතන ඩොක්ටර් ඩ--න් පෙතිත් දුන්නා ඒත් හරිගියෙ නෑමයි"
මොකද අනේ රිදෙනවා කීවම බඩම ඔබන්නේ ... එබුවම රිදෙනව කියලවත් දන්නැද්ද
දැන් ඔයා මේ බඩ ඔබන තුන් වෙනිඩොක්ටර් මේක නවතින්නෙ කවද්ද ... කිව්ව ගමන් ඔක්කොමලා කරන්නේ බඩ ඔබන එක"

ඔහොම කතා ගොන්නකින් පස්සෙ
මම වෝඩ් රවුන්ඩ් ඉවර වෙලා මේ පැංචි එහෙ මෙහෙ යද්දි අඬගහලා නලාව දාලා දුන්නා කන් දෙකට....
හාට් එකේ සද්දෙ අහන්න දුන්නා එයාගෙම. බඩරිදෙන නිසා බඩේ සද්දෙ අහන්න දුන්නා... ෂූ ෂූ ගානවා කියලා හරි සතුටක් ලැබුනා ඒ කෙල්ලට. බඩ ඇතුලේ මුහුදක් ඇතිය කියලා මිස්ලා හිනා වුනා. ඔන්න මම රවුන්ඩ් ඉවර වෙලා යනකොට මේ කෙල්ල අල්ලපු ඇඳන් වලටත් කියවලා ... මට ඇහෙනවා

" ඒ ඩොක්ටර් ඇන්ටී විතරයි මට නළාව දුන්නේ සද්ද අහන්න ...බඩ ඇතුලෙ හෝ ගානා පොකුණ වගේ" ඒ අස්සේ මට කෑ ගහනවා "ඩොක්ටර් ඇන්ටි තැන්ක් යූ, ගුඩ් නයිට් " කියලා .
හැබැයි ඇත්තම කථාව ඒ කෙල්ලගේ උත්තර වලට මම නිරුත්තර වුනු වාර අනන්තයි.
......................................................

 සැබෑ ආදරය ගැනත් යමක් ලියන්නයි කියා හිතුනා... ඒත් අපි දකින හැම තැනම බොරුවම තියෙන නිසා ඔය වචනෙත් නිකම් බොරුවක්ම කියලයි හිතුනේ...

ආදරය කියන්නේ මොන වගේ දෙයක්දැයි නොදැන ආදරය අපි නොයෙක් හැඩහුරුකම් වලින් සොයනවා. ඇහෙන් අල්ලාගන්නා දේට ආදරේ කරනවා. නෙත පිනවන හිත සනසන දේ තුලින් ආදරේ සොයනවා. ඒත් දෙනෙත් නැති හිත් වල පූදින ආදරය හුදෙක් වෙනත් මානයක් කරා මාව ගෙන යනවා.

කසුන් - සත්‍යා ...ජීවිතයේ බාධක වැටකඩොළු වලට අභියෝග කළ අපේ ආදරණීය බ්ලොග් රචක රචිකා යුවලගේ මංගල උත්සවයට ආරාධනා ලැබුනම ... මොන කරදර මැද්දේ හෝ යනවා මයි කියා හිතුවේ...උන් දෙන්නා ඒ තරම් මට ලෙංගතු නිසා මයි.... කොහේ දී කටහඬ ඇහුනත් "බෝධිනි අක්කා" අනිත් කොන.. කියමින් අතින් අල්ලා ගන්නා ඒ ලෙංගතු කමට...

ආදරයේ හැඩ තල නොයෙක් අයුරින් මම දුටුවා...ඒ හැම විටම මම එහි භෞතිකමය හැඩය මිසක් අධ්‍යාත්මික හැඩයක් දුටුවේ නෑ. තමන්ට ඕනෑ ලෙස වෙනස් කරගන්න මිසක් තියෙන ඒ හැඩ තල වලට ආදරය කරන්න කිසිවෙක් පෙළඹුනේ නෑ. එහෙම ලෝකයක දැන උගත් නමුත් "කේන්දර අවුල්" නිසා හැර යන මිනිසුන් මෙන් ම.... දුෂ්කර කාලයේදී හැරයන මිනිසුන්ද .... බොහෝ අකටයුතුකම් කර හැර යන මිනිසුන්ද ....
අනුන්ගේ දුකක්  කඳුළක් වෙහෙසක් නොදැනෙන මිනිසුන්ද දැක ඇත්තෙමි. 

එහෙව් ලොවක,
ඔවුන් සොඳුරු ලෙස ලෝකය විඳින අයුරු මා හදවතින්ම වින්දා
මගේ ඇස් වලින් දැක්කා...
මගේ හදවත පතුලේ මහා ලොකු බරක් අත හැර
ජීවිතේ අත් නොහැර ඉන්නට
ජීවිතේ වටිනාකම මට පසක් කළ...
ඒ මොහොත මට වටිනවා මහ මෙරක් තරම්
කටකාරි නගා ඇතුළු සියළු දෙනා හමුවූ ඒ දිනය හරි සොඳුරුයි...

Wednesday, June 7, 2017

හද සසල කළ ඒ තැන !

"අම්මා බබාගේ හර්ද ස්පන්දන වේගෙ අඩු වෙනවා , ඒ එක්කම මේ ඇතුලේ වතුර පාට හරි නෑ බබාට ඇතුලෙම කක්කා ගිහින් වගේ. ඔයාගේ ගැබ් ගෙලේ ප්‍රමාණය බබාට එන්න තරම් ලොකු වෙලා තුනී වෙලා නෑ. එනිසා අපි සීසර් කරනවා" අම්මාට එහෙම පැහැදිලි කර දුන්නා. ඒ අම්මා ඒ වෙනකොටත් හිටියේ ප්‍රසව වේදනාවෙන් බොහෝ වෙලා තිස්සේ ප්‍රසූතිකාගාරයේ.

"අනේ ඩොක්ටර් , ...මගෙ මහත්තයා කැමති නෑ සීසර් කරනවට, අනේ එයාගෙන් අහන්න ඩොක්ටර් එළියේ ඇති... " අඩු වෙන පොඩි හදවතක කම්පනය හමුවේ කිසිම අම්මා කෙනෙක් එහෙම දෙයක් කියන්නේ නෑ... අපිට කොහොම හරි ළමයා බේරන්න කියනවා මිසක. අනික සමහරු වේදනාවට කෑ ගහන්නේ, " ඩොක්ටර් සීසර් කරන්න සීසර් කරන්න " කියලා
ඒ එක්කෙනෙකුටවත් සීසර් කරාට පස්සෙ , සාමාන්‍ය ප්‍රසූතියකට වඩා වැඩි කාලයක් විඳවන්න වෙන බව මතක් වෙන්නේ නෑ.
 මේ අම්මා එහෙම කිව්වාම මම හෙදිය දිහා බැලුවා.... ඒ ඇගේ තුන්වෙනි හෝ හතරවෙනි දරු උපත.
"එහෙම කියනවා සමහරු ඩොක්ටර් එයාලගේ ආගමේ ප්‍රශ්නයක් ඒක "
ඊළඟට ඒ තාත්තාගෙන් ලැබී තිබුනේ ඔහුත් ආගමේ නියමයන්ට පටහැනි දෙයක් නොකරන බව ය. සීසර් කරන්න නම් එපා !ඔහු කීවාලු.

"මවගේ හෝ දරුවගේ ජීවිතයට හානි වුනත් සීසර් කරනවට අකමැතියි ! කියලා එක්තරා ආගමක ඒ තාත්තා   BHT එකේ පවා ලියලා අත්සන් කළා.
 මට මතක් වුනා, ලේ ගන්න බෑ ආගමට පටහැනී කියලා, අඩු හිමෝග්ලොබින් අගයක් සහිතව උනත් මැරුණත් කමක් නෑ කියලා බලෙන් ටිකට් කපාගෙන ගිය අම්මා ! අපේ විශේෂඥ වෛද්‍යවරයෙක් කීවා එහෙම ආගමක් නිසා ඔවුන්ට මවක් මැරෙන්න ඉඩ දෙන්න වුනා කියලා එංගලන්තෙදි.... ඒ ආගමේ නීති එහෙමලු.

 අම්මා ලේබර් රූම් හිටියේ ගැබ් ගෙල විශාල වීම බබාට එන්න ප්‍රමාණවත් නෑ බබාගේ හාට් බීට් එක අඩු වෙමින් තිබුනේ... ඩොප්ලර් එකෙන් අම්මටත් ඇහුනා ඒක.

මම ඇවිත් කීවා අම්මට " මෙහෙම වුනොත් ඔයාට බබා නැතිවෙන්න යන්නේ කියලා.  අපි දැනන් හිටියා මවගේ හෝ දරුවාගේ ජීවිතයට හානි වෙනවානම් අපිට සීසර් හෝ මොන ක්‍රමයකින් හරි ජීවිත බේරන්න පුළුවන් ලෙස මනුස්ස නීතිය වඩා බලවත් බව.
නමුත් ඒ අම්මා එකපාරම කීවා" මට දරුවා ඕනේ... ඩොක්ටර් කමක් නෑ සීසර් කරන්න මම අත්සන් කරනවා" කියලා, අර තාත්තා අත්සන් කරපු තැනට පහළින් අම්මා අත්සන් කළා !
 ඒ පාර සීසර් කලා. බබා ඉක්මනින් ප්‍රකෘති වුනා. වාසනාවකට ඒ බබාගේ නම් මෙකෝනියම් මිශ්‍රවුනු තරල වලින් ඇතිවන සංකූලතා තිබුනේ නෑ.
දරුවා පරීක්ෂා කරද්දී එයා මගේ ග්ලවුස් දැමූ අත අල්ලා ගත්තා හරි හයියෙන්... තැන්ක් යූ කියනවා වගේ මට හිතුනා ( සමහර වෙලාවට බොළඳ දේවල් හිතෙනවා). මම මේ කතාව නොලීවට ඒ අත් දෙකේ  ෆොටෝ එක මුහුණු පොතේ දැම්මා. " strong grip... tried to hold on but I have to let go" කියලා. (photo credit goes to a nursing officer)

  අලුත් බබා එක්ක මමයි මිඩ් වයිෆ් මිසුයි අම්මා ළඟට ගියාම අම්මා කීවා " දෙවියන්ට ස්තූති වේවා " කියලා...
මම මද සිනහවෙන් හිටියා.. ඇය දකින දෙවියන් සහ අපි දකින කර්මය  කියන මේ හැම වචනයක් අවසානයේ මම දකින්නේ මනුස්සකම නිසා....

ඒ බබාගේ අම්මා සමහර විට කවදාවත් කියන එකක් නෑ... එයාගේ ජීවිතේ බේරුවේ ඇයයි කියලා. එහෙම නැත්නම් අපි වෙන්නත් ඉඩ තිබ්බා. එහෙම වුනානම් ගොඩක් ඉදිරි ප්‍රශ්න අපිට එන්න තිබ්බා. හැබැයි ඒ තාත්තාව නම් ඒ වාට්ටුවේ වෛද්‍යවරු විශේෂඥ වෛද්‍යවරයා එහෙම අමතලා තිබ්බා. ඔහු ඒ ප්‍රශ්නෙ එතනින් එහාට ගෙනිච්චේ නෑ. 

Friday, June 2, 2017

ගං වතුර ගඟේ වතුරම නොවේ ! ඇස් උඩ තියන් අපේ දෙසුම් ඇසූ මිනිසුන්

කුඩා කාලයේ නම් මට මතක ගංවතුරකට තිබුනේ අපි දහයේ හෝ නමයේ ඉඳෙද්දී මුළු කොළඹම යට වුන ගංවතුර... අඩි කිහිපයක් පමණයි එහිදිත් යට වුනේ. අගනුවර මහල් නිවාසෙක සිටි අපට නම් කිසි බලපෑමක් වුනේ නෑ එනමුත් පහළ තට්ටුවල අයට නම් වතුර ගෙවල් තුලට දමා තිබුනා.
ඒ වතුරේ උනත් දියබුං ගැහිලි, ඇවිදිලි එහෙම කරන්න ලැබුනේ නෑ. මොකද ඒ වෙනකොටත් අපි තේරුම් ගත්තා, එහි භයානක කම. අසල ගලා බසින කුණු ඇලේ කැත කුණු පවා මේ වතුරට මිශ්‍රවී ඇතැයි කියමින් අම්මා අපව බිය වැද්දූ හැටි මතකයි.
"නින්ද යන්න බෙහෙතක් දෙන්න බැරිද ඩොක්ටර්..." මවක් මගෙන් අසද්දී මට හිතුනේ මේ ගලාගෙන ආ වතුරට ඇගේ හිත ගත පෑරිලා කියලයි,
"ඒ මොකෝ අම්මා" මම වික්ෂිප්ත වී ඇසුවෙමි.
"මට නෙමේ මෙයාලට" ඇය හිසින් තම පිරිමි දරුවන් දෙදෙනා පෙන්වමින් කියන්නට විය 
"බේර ගන්න බෑ ඩොක්ටර් වතුරෙමයි. කොහොම හරි පනිනවා." ඇය පැවසූ කතාව මට කිහිප දෙනෙක්ම පැවසීය.
මේ දෙවැනි සායනය විය. මෙහි පැමිණ ඉඳගත් විගස මා දුටුවේ... චුරු චුරු වැහි බීරම තිබුනත් පාරේ උඩුකය වැසෙන්නට ඇඳුමක් පවා නොඇඳි කකුල් දෙක හොඳටෝම තෙතබරිත වූ පොඩ්ඩෙකි. 
"මොකෝ මේ මෙහෙ එන්න" ඔහු අඬ ගා ගතිමි.
" කෝ ඇඳුම්. මොකද මේ ෂර්ට් එකක් නැත්තේ. සීතලයි නේද ?"
අන්තිම සායනය පැවැත්වූ තැන
ජායාරූපය මා විසින් ගත් එකකි. 
"ගෙදර යටවෙලා. ඇඳුම් ගෙදර" ඔහු එහෙන් මෙහෙන් උත්තර දී ඉස්සෙකු මෙන් පනින්නට සූදානම් වේ. එහෙ මෙහෙ බලන සැනින් අතුරුදන් වී සිටියේය.
නැවත අහම්බෙන් පාර දෙසින් දුටු විට අඬගා ගත්තෙමි.
"කෝ අම්මාට එන්න කියන්න." 
"අම්මා... උඩහ ගෙදරක" කියාගෙන ඔහු යළි දිව ගියේය. 
"එහෙනම් ඇඳුමක් කොහෙන් හරි හොයාගෙන ඇඳගන්න ඕනේ නැත්නම් අපි හොයලා දෙමු" එතන සිටි, බෙහෙත් සහ සියළු අත්‍යාවශ්‍ය දෑ සපයමින් වෛද්‍ය කඳවුරු සංවිධානය කළ තිලිණ හිරිපිටිය, සුනෙත් සංජීව, මංජුල සමරසේකර මල්ලිලාට කීවෙමි. 

ගංවතුර සමග හිස ඔසවන රෝගාබාධ ගැන මම විශාල විස්තරයක් ලීවෙමි. ඒ ගිය අවුරුද්දේ ලියූ ලිපියට තවත් දෑ එකතු කරමිනි. දිනමිණ පුවත් පතේ මෙන්න මෙදින ද, roar.lk හි එහි ඉංග්‍රීසි කරුණු දැක්වීමෙහි ලිපියට උපුටාගැනීමක් ද, බොහෝ සෙයින් මුහුණු පොත හරහා බෙදා ගැනීමක්ද දකින්නට ලැබිණි.
එනමුත් මෙවැනි ගම්මාන වල මිනිසුන් තවම විශාල වශයෙන් මේ වතුරෙන් ප්‍රවේසම් වීම ගැන දක්වන ආකල්පය අඩුය. 

දරුවන් ගං වතුරේ දියබුං ගසද්දී, හුදු විනෝදයක් සේ සලකන පිරිසක්ද වේ. 
ගිය අවුරුද්දේ ක්ල්නික් කරන්න ගොස් බෝට්ටු වලින් ගොස් ගොඩ බැස්සේ වතුරට ය. අපට ද මී උණට ගන්නා බෙහෙත් නොගත්ත බව මතක් වුනේ රෑ බෝ වී සායන ඉවර කරද්දී ය. 
ඉතින් සාමාන්‍ය මිනිසුන්ට ඒ ගැන අවබෝදයක් කොයින්ද?

සුළු කාලයක් වතුරේ බැස සිටි අපේ කකුල් ද කසන්නට විය. 
පොදුවේ එවැනි දද කුෂ්ඨ බිබිලි බහුලව දකින්නට ලැබිනි. සමහර පැරණි තුවාල පෑරී ඕජස් ගලමින් තිබිනි, ඉතින් අපට තුවාල පිරිසිඳු කරන ස්ථානයක් ද පවත්වන්නට සිදු විය. කකුලක් කපන ලද දියවැඩියා රෝගියෙක් ගේ නිවසටම ගිය හිතවත් වෛද්‍ය තරිඳු, තුවාලයේ වැසුම් ගලවා එය පරීක්ෂා කර බලා බෙහෙත් දමා වෙළුම්පටි වලින් වෙලන ලද්දේ එහි තත්වය හොඳ නැති බවත් වහා රෝහල්ගත විය යුතු බවත් කියමිනි. එයින් ශ්‍රාවය වුනු සැරව ප්‍රමාණය දුටු අපටද වැටහුනේ රෝහල් ගත වීම වඩාත් උචිත බවය.

හමේ රෝග පැතිරේ -
  මේ සායන දෙකේදීම අපට බහුලව දකින්න ලැබුනේ හමේ ආසාදන තත්වයන් ය. එය අර විෂ වතුර ට බැසීම නිසා ය. වැඩිහිටියන්ට වතුරට බහිනවා ඇරෙන්න විකල්පයක් නොමැත. ඔවුන් බඩු මුට්ටු රැගෙන දුවා දරුවන් රැකගෙන පැමිණියේද කරවටක් වතුරේ ගිලෙමිනි. 

ඉතින් වෛද්‍යවරුන් ලෙස සහභාගි වූ මම ද, වෛද්‍ය තරිඳු, වෛද්‍ය අමිල, වෛද්‍ය වාසනා යන මේ සියළු දෙනා අඩුවක් නොමැතිව, ගංවතුර සහ ඒ ආශ්‍රිත රෝග ගැන අවට සිටියවුන් සහ පැමිණි අය දැනුවත් කළා.

ඔය එන වතුරේ එන්නේ, හුදෙක් ගං දිය පමණක් නොවේ. රසායන පොහොර යෙදූ කුඹුරු වගා බිම් සෝදාගෙන ඒවාද, වැසිකිළි වල වල් අසූචි මළ මූත්‍ර සෝදාගෙන ඒවාද, ගව ඌරු කුකුල් ගොවිපලවල නම් ඒ සතුන්ගේ මළ මූත්‍රා ද, මඩ කාණු කුණු එක් රැස් වීම් වැනිදෑ ද අඩු නැතිව එයට එකතු වී තිබේ. ‍

"ඉතින් අපි ඒ වතුර බීවේ නෑ.." පණ්ඩිත පැංචෙක් පවසයි.

"වතුර පෙවෙන්නම ඕනෙ නෑ, වතුරේ ඉන්න ඇහැටවත් නොපෙනෙන බැක්ටීරියා, දිලීර, පණුවෝ එහෙම හමේ කුඩා සිදුරු මගින් ඇඟට ඇතුල් වෙනවා. ආ තව ඔයාලගේ තියෙනවනේ තුවාල ඔය කකුල් අත පයේ ඒවයෙනුත් ඔවුන් ඇඟට ඇතුල් වෙනවා. " කියද්දී නම් කිහිප දෙනෙක් නැමී තමන්ගේ තුවාල පරීක්ෂා කරනු දුටුවා.

"දැක්කද? ඇහුනද ? " කියමින් අම්මලා, තම කියන දේ නාහන කොළු පැටවුන්ට ඇඟිල්ලෙන් අනිමින් තරවටු කරන අයුරුත් දුටුවා. 

වතුරේ  ඇවිදිද්දි, උල් කටු ඇන, වීදුරු ඇනිච්ච පිරිස් ද හිටියා. වැඩිහිටියන්නම් ටෙටනස් ප්‍රතිවිෂ එන්නත විදගෙන තිබුනේවත් නෑ. ඔවුන්ටද එහි වැදගත් කම පැහැදිලි කර, වහාම ළඟම රෝහලට යන්නට උපදෙස් දුන්නේ අප ළඟ එන්නත් නොතිබුණු නිසාමයි.

හමේ ආසාදන සඳහා ගිය අවුරුද්දේ ගංවතුර කාලේ ලැබූ අත් දැකීම් සමග, අප දුටුවා, බැක්ටීරියා නාශක anti bacterial,  දිලීර නාශක anti fungal and , අසාත්මිකතා නසන anti allergic යන මේ ක්‍රියා තුනම සම්පූර්ණ වන ගුණ ඇති ක්‍රීම් වර්ග ඉක්මන් ප්‍රතිඵල ලබා දෙන බව. ඉතින් එවැනි ක්‍රීම් වර්ග ගෙන එන්නට තිලිණ සහ සුනෙත් මල්ලිලා යුහුසුළු වුනා. ඇතැම් තුවාල සඳහා බැක්ටීරියා නාශක පමණක් දෙන්න වුනේ ඒවායේ තත්වය ගැන සැලකිල්ලට ගනිමින්.
එමෙන්ම අසාත්මිකතා අඩු කරන, විවිධ ආලේපන වර්ග ද අපට ඔවුන් ලබා දුන්නා ( acqous cream , calamine lotion)  
බොහෝ සෙයින් උගුර නාසය ආශ්‍රිත සෙම් රෝග පැතිරීමක් දකින්න ලැබුනා. උණ තත්වය ඇති කුඩා දරුවන්ට පැරසිටමෝල් පොවා තිබුනේ අතේ මිම්මට උණ බලමිනි. 
උණ කටුවකින් උණ බැලීමේ වැදගත්කම කියා දෙමින් නියමිත මාත්‍රාව ගන්නා හැටි කියා දෙමින් ඔවුන් දැනුවත් කරද්දී අප වෙත උණ කටු කිහිපයක් රැගෙන අර මල්ලිලා නැවත පැමිණියා. උණ බලන රසදිය කටු අම්මලාට ලබා දුන්නා.
සායන වලට යා ගත නොහැකි වී, ඉන්සියුලින් නොමැතිව සිටි රෝගීන් දෙදෙනෙකු වෙත එය ගෙනැවිත් මාත්‍රාව ලියා දුන් අතර, එම රෝගීන් ඒවා එන්නත් කරගන්න දැනුවත් වී සිටියා. 
අවුරුදු අසූවක පමණ ආච්චී කෙනෙක් දඩිබිඩියේ කඩිසරව එහෙ මෙහෙ දුවමින් සිටියා. ඇය පැමිණියේ ප්‍රෙශර් බලා ගන්න. රුධිර පීඩනය හුඟක් ඉහළ බව කී විට. "ගංවතුර බලන්න අන්න අරහේට ඇවිද්දා. උදේ පෙති බොන්න අමතක වුනා" යැයි කීවා. පොත බලා ඇගේ මාත්‍රාවට බෙහෙත් ලබා දී එතැන රඳවාගෙන රුධිර පීඩනය මදක් හෝ අඩුවෙන්නේ දැයි පරීක්ෂා කර යැව්වා. මන්ද එක පාර එය අඩු කිරීමේදී නොයෙක් සංකූලතා ඇති විය හැකි නිසා. 

ඔය අතර මට මතක් වුනේ,  මම උතුරේ වැඩ කරද්දී ඉගෙන ගත් දෙයක්...

අපට සිටි විශේෂඥ වෛද්‍යවරයා ලංකාවට පැමිණි විගස එහි පත්වීම අරන් ආපු ඩොක්ටර් සම්පත් ඥානරත්න, සුව නොවන සැත්කම් තුවාලයකට කෝමාරිකා මදය දමා දින තුනක් පමණ එලෙස මදය ආලේප කර එම සැරව සහ ඕජස් ඉවත් වෙන විට සහ ඉන්පසු මැහුම් දැමූ එම තුවාලය සුව අතට හැරුණු හැටි අප දුටුවා... විශේෂඥ වෛද්‍යවරයා හෝ අප කෝමාරිකා වලට කියන දමිල වචනය නොදැන සිටි නිසා අන්තර්ජාලයෙන් කෝමාරිකා ශාකයක රූප සටහනක් ගෙන ඔවුන්ට පෙන්වා දෙමින් එය ගෙන්වා ගත්තා. තුවාල දද කුෂ්ඨ සඳහා එය අගනා බවත් මතක් වුනා

මගේ දරුවාට පවා දාඩිය බිබිළි ආසාදන ඇති වූ විට මා ගෙවත්‍තෙන් කඩා ගන්නා කෝමාරිකා කොළයක මදය ගානවා. දින දෙකෙන් සියළු දේ සුව විය.
ආලේපන වර්ග හිඟ තැන් බොහෝය. එනමුත් ආසාදිත තුවාල සඳහා විෂබීජ නාශකයක් අවශ්‍ය වේ. ආයුර්වේද වෛද්‍ය මතයද ඔවුන් කෝමාරිකා සුලබව භාවිතා කරන බව ය. 

අප සහභාගී වුණු සායන වලදී ද එක ටියුබ් එකක් බෙදා දෙන්නට හෝ පවුලකට එකක් වශයෙන් දෙන්නට පවා සිදු වුන නිසා, මෙවැනි ආලේපන වල අඩුවක් වෙළඳපලේ දක්නට ලැබෙන නිසාත්, ඇතැම් සායන වල මේවා ඇත්තේම නැති නිසාත් යන කරුණු නිසා අප ගෙදර දොර පහසුවෙන් ලබා ගත හැකි ස්වභාවික විෂබීජ නාශක ගුණ ඇති දෑ ගැන දැනුවත් වීම වටී. 

චාන්දනී මෙන්ඩිස් මහත්මිය පැවසුවේ, නිදිකුම්භා තැම්බූ වතුර වලින් තුවාල සෝදන බවත් කහ දියර වල විෂබීජ නාශක ගුණය ඇති බවත් ය. 

මෙවැනි අත්හදා බැලීම් කරමින් අපේ අය තුවාල වැඩි කරගනීදෝ කියා මට ද සිතුනේ මේ ගැන ඇති වුණු සංවාදයේදී විශේෂඥ ප්‍රජා වෛද්‍ය උත්පලා මහත්මිය එය පෙන්වා දුන් විට ය.  ඇය පැවසූ ලෙස, මෙය නව සෛල ජනනය කරන නමුත් එහි තිබෙන තෙතමනය බැක්ටීරියා වර්ධනයට රුකුලක් වේවිදැයි සිතිනි. මෙවැනි දේ කරමින් අපේ මිනිසුන් නිසි ප්‍රතිකාර නොගෙන සිටී දැයි සැකයක් ද මටද ඇති වුනා.

ආයුර්වේද වෛද්‍ය මනෝජ් මහතා සහ වෛද්‍ය පවන් මහතා ඒ ගැන දීර්ඝ ලෙස කරුණු දැක්වූ අතර ඔවුන්ගේ මතය නම් කෝමාරිකා විෂබීජ නාශක ගුණ ඇති ඖෂධයක් බවය.
එනිසා අප මතක තබා ගත යුතුයි දද කුශ්ඨ වැනි දෑ තුවාල ආදියට වෛද්‍යවරයෙකුගේ නිර්දේශය අවශ්‍ය බවත්, සැරව ගලමින් කසමින් දිය බුබුළු දමමින් තිබෙන්නේ නම් ඒවා වැඩි වෙන්නට ප්‍රථම වෛද්‍ය උපදෙස් සහ බෙහෙත් ලබා ගත යුතු බවත් යන මේ කරුණු ය . 

මේ අතර අපේ වාට්ටුව ද පිරී ඉතිරී යමින් ඩෙංගුද, පාචනය වමනය බඩ එළියේ යෑම් ද ඩෙංගු නොවන නමුත් එසේ හැසිරෙන වෛරස් උණ ද අඩු නැතිව යහමින් තිබේ.
ඩෙංගු ගැන විමසුම අඩු වුනා දෝ යැයි මට සිතේ. ඔයින් මෙයින් දින දෙක තුනක් මට ද වෛරස් උණ සහ වමනය වැළඳී  අකර්මන්‍ය ව ඇඳ උඩ තපින්නට සිදු වුනේ.... වඩුවාගේ ගෙදර පුටුව නෑ වගේ, වමනයට දෙන පෙත්තක් හෝ පැරසිටමෝල් පෙත්තක් මා ළඟ නැති බවද පසක් කරමිනි. යන්තම් දරුවාට ගෙනැවිත් තිබූ සිරප් වලින් රැය ගෙවාගෙන පසුවදා වාට්ටුවේ වැඩ ට ද ගියේ නිවාඩු ගැනීමේ අපහසුතා ඇති නිසා ය.

වෛද්‍ය බෝධිනි සමරතුංග
(මේ ලිපි උපුටා ගන්නේ නම් ඒ බව මට දැනුම් දී අවසර ලබා ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි)

පළමු ලිපිය... https://anithkona.blogspot.com/2017/05/blog-post.html