Tuesday, January 26, 2016

දැන් ඉතින් විසිකරන්න යෑ !



දහවල් එකොලහට පමණ ප්‍රසූතිකාගාරයෙන් මට ලැබෙන දුරකථන ඇමතුමෙන් කියවෙන්නේ දිනයක් හෝ වයසක් නොදන්නා දරු ගැබක් සහිත කාන්තාවක් ඇතුලු වූ බවත් ඇය දරුවා ලැබෙන්න ආසන්නයේ සිටින බවත් ය. මාස 8ක පමණ ගැබිණියක් වන මම හනි හනික  එදෙසට දිව ගියෙමි.

දරුවා ලැබෙන්නට ඔන්න මෙන්න නිසා දරුවාගේ ප්‍රමාණය ස්කෑන් කර බලා සති ගණන නිර්ණය කිරීමටද නොහැක. නොමේරූ දරුවෙක් බිහි වුනොතින්, නොමේරූ ළදරු ඒකකයකට හෙවත් PBU / NICU එකක දරුවා ඇතුල් කළ යුතුය. එවැනි ඒකකයක් අප මූලික රෝහලේ නොමැත. දැන් ඉතින් කරන්නට තියෙන්නේ මේ අවදානම් තත්වයෙන් මව වෙනත් රෝහලකට යැවිය නොහැකි නිසා දරුවා ඉපදුනු පසු තත්වය අනුව ක්‍රියා කිරීමය යන්න විශේෂඥවරයාගේ මතය විය.

මහ රෝහල් කිහිපයක නොමේරූ ළදරු ඒකක හා දුරකථනය ඔස්සේ සම්බන්ධ වී මෙවැනි තත්වයක් ඇති නිසා අවශ්‍ය වුනොත් එන බව පවසා දැනුවත් කර තැබුවෙමි. හදිසි තත්වයකට අවැසි උපකරණ, මෙවලම් ලැහැස්ති කර ගත්තෙමි. කෘතිම ස්වසනය දෙන්න අවශ්‍ය දෑ මෙන්ම උණුසුම ලබා දෙන විශේෂ ළදරු වෝමර් එකද ලැහැස්තිය. දැන් ඇත්තේ, මවට සහ දරුවාට කිසි කරදරයක් නොවේවා යැයි ,  සිතමින් බලා සිටීමය.

මේ අම්මා කිසිම දිනක සායනයකට හෝ වෛද්‍යවරයෙකු හමුවට ගොස් නැත, කොටින්ම දරුවෙක් බලාපොරොත්තුවෙන් සිටි කෙනෙකු නොවේ. විටමින් පෙති, පෝෂණය අවැසි ලෙස ලැබුනාදැයි නොදනී. ගෙදර තව දරුවන් දෙදෙනෙකු සිටින බව පැවසේ. ඇය පදිංචි වී සිටින්නේද මහා දුරකින් නොවේ. හරිනම් පවුල් සෞඛ්‍ය නිළදාරිනියන් මෙවැනි කතුන් ගැන සොයා බලා අදාල වෛද්‍ය නිළදාරීතුමන්ට දැන්විය යුතු නොවේද ?

මෙවැනි කතන්දර ඇසෙන පළමු අවස්ථාව මෙය නොවේ. ඕනෑ තරම් ස්ත්‍රීන් බඩේ කැක්කුමට බෙහෙත් ගන්නට බාහිර රෝගී අංශය වෙත පැමිණ, එසැනින් හදිසි ප්‍රතිකාර ඒකකයේ හෝ, අප වාට්ටුවට ගෙන එද්දී ට්‍රොලිය මත හෝ, ත්‍රීවීල් වල දරුවන් ප්‍රසූත කරති. ඔවුන් හැමෝටම ඇත්තේ  එකම එක කතාවකි. දරුවෙක් ලැබෙන්න සිටි බවක් දන්නේ නැත ! යන්නයි.
මේ කියවන ඔබට ද, අපට ද එය විශ්වාස නොකළ හැකි බව මම දනිමි. නමුත් ඔවුන් එක හෙලා පවසා සිටින්නේ එයයි.

සමහරුන් අවිවාහක තරුණියන් ය. අම්ම ලා තම දියණියන් රැගෙන එන්නේ ඉවසාගත නොහැකි බඩේ කැක්කුමට බෙහෙත් අරන් දෙන්න ය. නමුත් කැඳවීමක් ලැබෙන්නේ ප්‍රසව හා නාරි අංශයේ වෛද්‍යවරුන් වන අපට ය. බොහෝ විට පරීක්ශා කිරීමේදී.. දරුවාගේ හිස පිටතට පැමිණීමට ආසන්නය. එවිට, මේ බව පැවසූ විගස අර දියණියගේ අම්මාවරු හදිසි ඒකකය හෝ අප වාට්ටුව දෙවනත් වෙන්න කෑ කෝ ගසයි, බැණ වදියි. එක්කෝ අර දරුවා ලැබෙන්න ඔන්න මෙන්න අමාරුවෙන් සිටින දුවට ගුටි පූජාවක් කරයි. ඒවා බේරන්න වෙන්නේත් අපටමයි. සමහරුන් කලාන්ත වේ. ඔවුන් සියල්ලෝම මාස 8 ක් හෝ 9 ක් ගෙදර සිටින දරුවා ගැබ්බර බව නොදැන සිටි බව අපට කියති.

 ඉතින් අර මා මුලින් සඳහන් කළ අම්මා ! ඇය තව මිනිත්තු දහයකින් පමණ ඇය දරුවා ප්‍රසූත කළාය.... වේගයෙන් ගැහෙන හදවත් වලින් සහ බලාපොරොත්තු සහගත හිතින් සිටි අප සැම සනසමින් ඒ දරුවා ඉපදුනේ දෙවනත් වෙන්න අඬමිනි, නිසි ප්‍රමාණයට වැඩී තිබුනි. වෙනත් සංකූලතා නොතිබිනි.
දැන් දරුවා පරීක්ෂා කර ඉවත යන්නට කලින් ඇයවෙත පැමිණ දරුවා හොඳින් යැයි පැවසූ විට ඇය මට ද පෙර කතාවම පැවසුවාය. මාද එවිට අට මස් ගැබිණියකි.

"මට දැනුනෙවත් නෑ බඩේ බබෙක් ඉන්නවා කියලා " ඇය පවසයි.

 .....අනේ අම්මා ඔයා මටම කියනවනේ බබෙක් දඟලනවා දැනෙන්නේ නෑ කියලා....
කියන්නට බොහෝ දෑ තිබුනත් මා සිතින් සිතුවේ එයයි.
"දරුවා නිරෝගීයි, හොඳින් රැක බලා ගන්න අම්මේ, ප්‍රශ්නයක් තියෙනවා නම් අපට කියන්න අපි උදව් කරන්නම් " යැයි පවසා  ඉවත ගියේ, දරුවන් නැතිව කොතරම් ස්ත්‍රීන් ප්‍රමාණයක් දුක්වෙනවාද යන්න සිහිපත් කරමිනි.

 ඔවැනි ම තවත් සිදුවීමකදී දරුවා ලැබුනු පසු ඒ අම්මා කීවේ " දැන් ඉතින් වැඩී කියලා විසි කරන්නයෑ..." යනුවෙනි.
ඇයද සායනයකට හෝ වෛද්‍යවරයෙක් හමුවට ගොස් තිබුනේ නැත. දරුවා උපන්නේ හර්දයේ සංකූලතා සහිතවය. උපන් වෙලේ සිට වෙහෙසුනේ, වෛද්‍යවරුන් සහ හෙදියන් ය.
ඔක්සිජන් නල සම්බන්ද කර, විවිධ පරීක්ෂන, ඖෂධ දෙමින්, මොනිටර් දිහා දින ගණනක් බලාගෙන සිටියේ අපය. වෙහෙසුනේ අප ය. ඇය නොවේ. අවසන අපට ඇය පවසන්නේ "
දැන් ඉතින් හදා ගන්නට එපැයි, විසිකරන්න යෑ" යනුවෙනි.

අවධානම් තත්වයෙන් මිදුනු දරුවාට , හරියට කිරි ටිකක් දෙන්නේ නැත, දරුවා තුරුලු කරගන්නේම නැත. ඒ සඳහා නිතර විමසා බලන්නේ ද හෙද සොහොයුරියන් සහ අප ය. ඇතැම් විට, මළපහ කරගත් දරුවා සෝදා පිරිසිඳු කර දෙන්නේද අප හෙද සොයුරියන් ය. නාවන්නේ ද ඔවුන් ය.
ඇතැම් විට තවත් බරක් වෙන මේ දරුවන් අනවශ්‍ය නම් ඔවුන් කරන්නට තිබුනේ, අනවශ්‍ය ගැබ් ගැනීම් වලක්වන පවුල් සැලසුම් ක්‍රමවේදයක් අනුගමනය කිරීමය. ඒවා ගැන සමාජයේ දැනුවත් කිරීමද දැනුවත් වීමද අඩුය.
දරුවෝ නැති අම්මාවරු , දරු සුරතල් දකින්නට සිහින දකිමින් බලාපොරොත්තුවෙන් සිටී. මට මතක් වෙන්නේ ඔවුන් ය.
දැන් මේ දරුවන් හැදෙන්නේ, ඔවුන්ව ඕනෑ නැති වුන පරිසරයක, දෙමාපියන් හෝ මවෙක් සමග ය. ඒ පුංචි හිත හැදෙන හැටි, විඳින දෑ ගැන සිතා මා කම්පා වෙමි.

 ඔවුන් බොහෝමයක් දැඩි ආර්ථික අපහසුතා ඇති පවුල් ය. දැන් මේ දරුවන්ගේ අනාගතය කෙසේ වේදැයි අපට අනුමාන කල හැක. නමුත් මේ දරුවන් රැක ගැනීමට ක්‍රම වේදයක් අප රට තුල ක්‍රියාත්මක නැත. එළඹ ඇත්තේ දරුවන් ගැන වැඩියෙන් සිතිය යුතු කාලයකි !

Thursday, January 14, 2016

ලේන්සුවෙන් වැසූ දරුවා...


එක දිගටම වෙහෙසෙන්න සිදුවුනා, අවුරුදු දෙකක පමණ දරුවෙක්, තමන්ගේ ආච්චිගේ බෙහෙත් පෙති බෝතලෙන් බෙහෙත් පෙති කාලා... මුලින් අහන කොට සෙමට ගත්ත බෙහෙත් බව කීවත් දරුවාගේ අසාධ්‍ය රෝග ලක්ෂන හමුවේ, අම්මා පවසනවා ඇගේ මවට මානසික රෝගාබාධයක් ඇති බවත් ඒ සඳහා දිගටම බෙහෙත් බොන බවත්.. ඒවා බී ඇති බවත්.
උදරය සෝදා,(gastric lavage)  නහයෙන් බටයක් දමා (NG tube), විෂ උරාගන්නා ඖෂධීය රසායන උරාගන්නා ක්‍රියාකාරී අඟුරු (ඇක්ටිවේටඩ් චාකෝල්) දීම වැනි මූලික ප්‍රතිකාර වලට අමතරව... බෙහෙත කුමක්දැයි නොදන්නා නිසා විශේෂයෙන් සැලකිල්ලෙන් පරීක්ෂා කරමින් සිටින්නට වුනා.... .... බෙහෙත් වගේ දේවල් ප්‍රවේශම් තැනක, අල්මාරියක වගේ ලොක් කරන්න යතුරු දාන්න පුළුවන් තැනක තියන්න ඕනේ...විශේෂයෙන් ගෙදර කුස්සියේ ඇති භූමිතෙල්, විෂබීජනාශක, කෘමි නාශක මදුරු කොයිල් වැනි දේවල් දරුවන්ට ගන්න අතපොවන්න හැකි තැන් වල තියන්න එපා... දැන් මම ඒ අම්මට කියා දෙනවා. ඒ දරුවාගේ ඇඟ වැහෙන්න එලා තිබුනේ අම්මාගේ ලේන්සුව... ඒකත් පහළ කොටස විතරයි.. ඇයි ඇහුවම "හදිසි ඒකකයෙන් වමනේ කරව්වානේ... බඩ සේදුවා එතකොට ඇඳුම් තෙමුන නිසා ඉවත් කරා ගෙදරින් ගෙනෙනකම් ඇඳුමක් නෑ " කියන උත්තරේ දුන්නේ. වාට්ටුවේ දෙන්න කියලා ඇඳුමක් රෙදි කඩක් තිබුනේ නෑ.

යන්තම් ඒ දරුවා සුව අතට හැරෙනවිට... රෑ එකොළහට පමණ තව දරුවෙක් ගෙනෙනවා අවුරුදු 3 ක පමණ.... භූමිතෙල් බීලා ඇඟේ හලාගෙන... හැබැයි බීලා තියෙන්නේ හවස 5 පමණ ලු. ඇයි මෙච්චර පමා උනේ ඇහුවම අනිත් දරුවෝ දෙන්නත් එක්ක එන්න බැරි නිසා සැමියා වැඩ ඇරිලා එනකම් හිටියා කියලයි. අතේ මාස 3ක දරුවෙක් නිදි.. මේ දරුවා එක්ක තව අවුරුදු 5ක පමණ දරුවෙක්... මේ ඔක්කොමලා ඉතා කිලිටි ඇඳුම් ඇඳගෙන හිටියේ... දැන් ඉතින් කොහොමත් භූමිතෙල් පෙවුනාම වමනය කරවීම හෝ බඩ සේදීම කරන්නේ නැති නිසාත්, පෙවී ඇති ප්‍රමාණය ගැන නිනවුවක් නැති නිසාත්, වේලා ගත වී පැමිණි නිසාත් දරුවා මොනිටර් කිරීම හෙවත් සුපරීක්ෂා කාරීව බැලීම පමණයි අපට කරන්නට තිබුනේ.. පොඩ්ඩා නම් බොහොම දඟකරමින් හිටියා. සැමියා කම්කරුවෙක්...
දැන් ඊළඟ ප්‍රශ්නේ, “නවතින්න වෙයිද ඩොකටර්, ඇඳුම් ගෙනාවේ නෑ” අනේ ඉතින් අපේ ඇඟේ ලේ වතුර වෙන සුළු විදිහට දරුවෝ ගැන සැලකිලිමත් නොවන, ආර්ථික අපහසුතා ඇති මෙවැනි පවුල් වල මෙවැනි අඩු සමාජ අවබෝධයක් සහිත මව්වරු එක්ක කතා බහ කරලම දැන් විඩාවට පත් වෙලා ඉන්න අපි, වාට්ටුවේ අපි තියා ඇති ඇඳුම් වල මේ පැංචාට හරියන ඇඳුමක් තිබුනේ නැති නිසා... මුළු රෑම ඒ පැටියා අර ඇඳුමෙන්ම සිටියා..
කලින් මා කියූ පෙති බී පැමිණි දරුවාගේ අම්මා, මානසික රෝගියෙක් වන ආච්චී ළඟ දරුවා දමා යන්නේ..කඩේක වැඩට... තාත්තා කම්කරුවෙක්.. තව අවුරුදු 10 පමණ අයියා තමයි.. මල්ලී පෙති කනවා දැකලා කටට අත දාලා පෙති අරන් දාලා තියෙන්නේ... ඊළඟට...අම්මාට දේශනයක් දුන්නා ආච්චීත් මානසික රෝගියෙක් නිසා ඇයට දරුවන් බලා ගන්න දමා යන්න එපා කියලත්...
අද උදෑසන ඔවුන් බලන්න පැමිණි අල්ලපු ගෙදර වැඩිහිටියෙක් මට කියනවා... "අනේ ඩොක්ටර් බලන්න, අර වයසක ගෑණු කෙනාට ළමයි බලන්න බෑ.. පෙති බීලා නිදි මතේ ඉන්නේ වැඩි හරියක්... දැන් මේ බබා, වැටි වැටී ඇවිදිනකොට මත් වෙලා වගේ නිසා අපියි දැකලා ඇහුවේ අනිත් බබාගෙන් පුතේ මල්ලිට මොකද කියලා.. එතකොට ඒ ළමයා තමයි කීවේ මල්ලී ආච්චිගේ පෙති බීලා බව... අපි ඉක්මනට ඉස්පිරිතාලෙට ගෙනාවා..."
ඒත් දැන් ඒ අම්මා අපිට ඔය කතා මොකුත් කීවේ නෑ... දරුවා දැන් බීවා උස්සගෙන ආවා වගේ තමා කතා කලේ... ඒ දරුවාටත්, ඇඳුම් ගෙනත් නෑ... ලේන්සුවක් පෙරවලා ! 
දෙමාපියන් ආර්ථික යුද්ධෙක... රටේ පාලකයන්ට මේවාගේ සංවේදී කතා අහන්න අත්දකින්න ලැබෙන්නේ නැතිවා ඇති... බොහෝමයක් අයට දරුවන්ට ඇඳුමක් පැළඳුමක් ලබා දෙන්නවත් මුදල් නෑ... ඒ අය දකින අපේ හිත් තමයි හඬා වැටෙන්නේ.. 
රටේ මිනිසුන් වෙනුවෙන් ක්‍රියා කල යුතු කාලයක... බහුතරයක් දෙනා බොහෝ දුක් විඳිමින් ජීවත් වෙන බව දකිනවා. මේ ගැන අපි මොකද කරන්නේ ? අසරණ අයට සහන සලසන ක්‍රමයක් අපේ රටේ රෝහල් තුල ඇති කරලා තියෙන්නේ එක්කෝ රෝහල් කාර් යය මණඩලයේ උත්සහයෙන් එහෙම නැත්නම් එන් ජී ඕ එකක හරි සහන පුණ්‍ය ආයතනයක අනුග්‍රහයෙන්. 
කිරි දරුවන් අරගෙන එන අම්මලා බොහෝමයකට නැපීස් නෑ.. අපි වාට්ටුවේ එකතුකරලා තිබෙන දේවල් වලින් ජීවානුහරණක කර කර දෙන්නේ... සමහර අම්මාලාට බෙඩ් ජැකට් නෑ... එකම එක කුණු ගඳ ගසමින් ඇඳගෙන ඉන්නවා... චීත්ත බෙඩ් ජැකට් මම කීප වරක් ගෙනැවිත් දුන්නා.. මා ඇන්ද ඒවා පවා ... සෝදා මැද ගෙනත් දුන්නා.
මට වෙලාවකට හීල්ලෙනවා... මේවගේ දරුවන් ඇස ගැටෙද්දී.. ඔවුන් පරික්ෂා කරද්දී, හිත පුරා බොහොම ලොකු දුකක් ඇතිවෙනවා. මට මගේ දරුවා මතක් වෙනවා. මගේ දරුවා දකිද්දී, දුක් විඳින මේ පොඩි ජීවිත මතක් වෙනවා. “රජ මැදුරක ඉපදී සිටියානම් නුඹත් රජෙකි පුතුනේ” කියන වචන ටික හිතේ දෝංකාර දෙනවා.
තව මොනවද අපට මේ ගැන කරන්න පුළුවන්... මතකනේ උතුරු කොනේ ජීවිත ගැන මම ලීවා. ඒ හා සමානව දුක් විඳින පිරිසක් මේ දකුණු කොනෙත් ඉන්නේ......
 "ඇයි මේ අපිරිසිඳු ඇඳුම් අන්දවන්නේ. ?"  අපේ ප්‍රශ්ණ ඇසීම් හමුවේ ඔවුන් නිරුත්තරයි... අසරණයි
හැමදාම අපි ගෙවල් පීරලා ඇඳුම් එකතු කරගෙන දෙනවා, සල්ලි වලට අරගෙන දෙනවා.. ...නමුත් එය සෑහෙන්නේ නෑ... එනිසයි මම මෙහෙම ලියන්න හිතුවේ... 
මේ සටහන කියවන සංවේදී හිත් ඇත්තවුන්ගෙන් මා ඉල්ලන්නේ.. ඔබේ කුඩා දරුවා ඇඳලා ඉවත දමන කුඩා වූ ඇඳුම් තිබේනම්... මා සේවය කරන රෝහල් ළමා වාට්ටුවට ලබා දෙන්න...ළදරු පැම්පර්ස් උනත් කමක් නෑ. ඒක විශාල පිනක්... මේ කුඩා අසරණ ජීවිත දැක්කම මට බොහෝම දුකක් දැනෙනවා.. අනේ උන් ඇති හැකි තැනක උපන්නා නම්... කියලා ! මේ කොළඹ ආසන්නම තිබෙන අති දුෂ්කර ජීවිත ගත කරන බොහෝ දුගී අයවලුන් යන එන රෝහලක් !

පසු සටහන : 
මේ සටහන ලීවේ මුහුණු පොතේ... මගේ යහළුවන්ට, නෑ හිතවතුන්ට... මෙහෙම ලියලා මුහුණු පොතේ දින දෙක තුනක් ඇතුලත බොහෝ සත්කාර හිත් තියෙන අයවලුන් අප රෝහලවෙත ආවා. අඳින්න බැරි නමුත් වෙනකෙනෙකුට ඇඳිය හැකි බොහෝ දෑ රැගෙන ආවා. සෙල්ලම්බඩු, පිටිකිරි ළදරුවන්ට අවශ්‍ය සනීපාරක්ෂක දෑ රැගෙන පැමිණි ඔවුන් ගෙනා දෙයින් වාට්ටුවේ තිබෙන එකම කබඩ් එක පිරී ඉතිරී ගියා. දැන් මේවා සැරෙන් සැරේ අවශ්‍යම කෙනෙක්ට පවුලකට ලබා දෙනවා. ඊළඟට අලුත උපන් බිළිඳුන් සිටින වාට්ටුවට ඔවුන් පරීක්ෂා කිරීමට ගිය විට එතැන තිබෙන දුෂ්කර බොහෝ දුගී අම්මලා, බිළිඳුන් වෙනුවෙන් අපේ වාට්ටුවෙන් ගෙන්වා නැපී, තුවා සහ අනෙකුත් දේ ලබා දෙනවා. 
ඔබ හැම දන්නවා රජයේ රෝහල් වලට එන්නේ දරිද්‍රතාවයේ බොහෝ ගිලී ඇති ජීවිත. අනුන් කරනකම් බලා නොසිට අපෙන් රටට සිදු විය යුතු දේ කරන එකයි වැදගත්කම !