Sunday, October 26, 2014

සිඟමනේ යද්දී අත් අඩංගුවට ගන්නවාද ?

"මම තාත්තාගේ ගෙදර යන්නයි ගියේ… ඒකට පාර දිගේ බස් එකට යද්දී තමයි ඇල්ලුවේ.."

අප වෙත එවා තිබූ පස් මස් වියැති ළදරුවා අත දැරි කාන්තාව කියද්දී, “මොකද්ද යන බස් එකේ නොම්මරේ" ප්‍රසිද්ධ බස් මාර්ගයක් නිසා මම ඇසුවෙමි. ඇය නිරුත්තර විය.

“බලන්න බබාගේ බර… තාම මාසෙක දරුවෙක්ගේ බර වගේ. හරියට කිරිවත් දීලා තියෙනවාද ?”

දරුවා උපත ලබා තිබුණෙත් අඩු බර දරුවෙක් ලෙසයි. ඔහු දිගු කාලයක් නොමේරූ ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබනවා. ඒ සම්බන්ධ කාඩ්පතේ, මව මත්පැන් වලට ඇබ්බැහිවූ කෙනෙක් බව ලියා තිබුණා. ඒ කියන්නේ දරුවා කුස ඉන්න කාලෙත් ඇය මත්පැන් මත්ද්‍රව්‍ය අරගෙන!

“ බබා ලැබෙන්න ඉන්නකොටත් මත්පැන් බිව්වද අම්මා” මම ඇගෙන් විමසුවෙමි. 

ඇය නිහඬය. ඇගේ මුහුණ කියා පාන්නේ දිගු කලක් මත්පැන් පානය කරන කෙනෙකුගේ ලක්ෂණය. ඇයට නිවහනක් නැත. ඉන්නේ පාලමක් යට බව කියයි. කලින් දරුවන්ට ඇති බව කීවත් ඔවුනට වෙච්චි දෙයක් නැත. මිය ගියේ යැයි ඈ පවසයි. මට සිතෙන්නේ සිඟමනේ යෙදෙන්නට කා අතට හෝ පත්කර ඇතැයි කියාය. ඇය මෙලෙස අප වෙත යොමු කළේ දරුවා සමග බීමතින් සිඟමනේ යද්දී පොලිසියවිසින් අත් අඩංගුවට ගැනීම නිසාය. මේ කුඩා සිඟිත්තාගේ ඇඟ පුරා දරුණු කුෂ්ටයක් සහ තුවාලද තිබේ "ස්කේබීස්" යන නමින් හඳුන්වන අපිරිසිඳු කම මුල්වන බෝවන රෝගයකි. එය වැළඳී තිබුණේ මවගෙනි. මවගේද මුළු ඇඟ පුරා ස්කේබීස් කුෂ්ඨ තුවාල දද පිරී ඇත.

හැමදාම දරුවෙක් ළමා රෝහලේ ප්‍රතිකාර ලබනවා යැයි කියමින් තව දරුවෙක් අතින් වඩාගෙන බස් රථවලට නගින සිඟන්නා මට මතක් වේ.අවුරුදු ගණනාවක් පුරා ඔහුගේ කතාව එකමය. දරුවාද සයිස් එකෙන් එහෙමමය. ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවද අනෙක් දරුවන් ගැනක්‍රියා කරන දෙපාර්තමේන්තුද දැඩිව ක්‍රියා කළ යුතු කාලයක් එළඹ ඇතැයි මට සිතේ. 

අද පුවත් වලට පැවසූ සිදුවීමක් නිසා මෙලෙස ලියන්නට සිත් විය. අවුරුද්දකට කලින් දකුණු ප්‍රදේශයෙන් නැතිවූ දරුවෙක් දඹුල්ලෙන් හමුවී තිබෙනවා. එහෙම හමුවෙලා තියෙන්නෙත් ඒ දරුවාගේ ආච්චී දරුවා සොයාගෙන නගරෙන් නගරෙට ගියපු නිසයි. දරුවා පැහැරගෙන ගිහින් තියෙන්නේ හිඟා කෑමට යොදා ගන්නයි. ආච්චිට මත්පැන් දී නින්දගිය පසුළු දරුවා පැහැරගෙන ගිහින් ඇත්තේ හැබැයි අපූරුමවැඩේ.. මේ ආච්චිත් කරලා තියෙන්නේ මේ දරුවා වඩාගෙන හිඟා කාපු එකයි.

දරුවන් අතින් කටින් එල්ලාගෙන ඒ දරුවන්වත් හෙම්බත්කරමින් හිඟා කන මිනිස්සුන් නිතර බස් වල කඩ පිල් වල, මංසන්ධි වල කලර් ලයිට් අසල, ඒවගේම කැලණිය බෙල්ලන්විල වගේ පුදබිම් අසලත් මොවුන් අඩු වැඩි නැතිව ඉන්නවා ඔබ දැක ඇති. මටත් නිතර හමුවෙනවා මෙවැනි පිරිසක්, බොහෝ විට දරුවන් සමග හිඟමනේයද්දී අත් අඩංගුවට පත් වෙන සිඟන්නියන්… ඒ ඔවුන්ගේ දරුවන් අප වෙත යොමු කරවන නිසා. බොහෝ දරුවන්ට අම්මලාගේ දද කුෂ්ඨඅඩු වැඩි නැතිව සෑදී තිබෙන අතර, ඔවුන් පෝෂණ ඌනතා වලින් පෙළෙන වයසට සරිලන බරක් නොමැති දරුවන්ද වූවා. 

නුගේගොඩ හංදියේ සිටින එක් මවක් සහ දරු දෙදෙනෙක් මට මතකයට නැගේ. මව පවසන්නේ දරුවාට පාසැල් යාමට නොහැකි වීඇත්තේ උපැස් යුවලක් ගැනීමට වුවමනා නිසා බවය. දරුවන් දෙදෙනාද, උපැස් සඳහා නිර්දේශ කොලයක්ද රැගෙන සිඟා කන මැය අවුරුදු ගණනාවක් දකින්න ලැබෙන තැනැත්තියකි. මා වෛද්‍යවරියක් බව පවසා, උපැස් යුවල ගැනීමට උපකාර කරන්න හැකියැයි පැවසූ විට හනික දරුවන් දෙදෙනා රැගෙන මටත් ඔරවා ගස්සා ගියාය.

තවත් අයෙක් ඔපරේෂන්කරන ලද හර්නියා එකක කැළල පෙන්වමින්, තමාට දරුණු සැත්කමක් සිදු කිරීමට තිබෙනවා යැයි අර ලබාදෙන ඩයග්නෝස් කාඩ් එකහෙවත් ප්‍රතිකාර නිමවූ පසු ලබා දෙන සිදුකළ සැත්කම හෝ ප්‍රතිකාර ගැන සඳහන් කාඩ් පත පෙන්වමින් හිඟා කමින් හිටි ඔහු මා වෙතට ඇවිත් කාඩ් එක දිගු කළේය. මා එය කියවා " මේ ඔපරේෂන් එක කරා නේද ?" ඇසූ විට විගස කාඩ් එක උදුරාගෙන අතුරුදහන් විය.  මෙවැනි සිදුවීම් අනන්තයි. 

දරුවන් මෙහෙකාරකමේ යොදවනවාට නීති රීති හරියට ක්‍රියා කරනවානම් ඇයි සිඟමනේ යොදනවාට විරුද්ධව නීති ගෙනෙන්නට බැරි ? ඇස් පනා පිට, ට්‍රැෆික් ලයිට් අසල දරුවන් අතින් කරින් එල්ලාගෙන එහෙ මෙහෙ වාහන වලට අතපාන අයද, පුද බිම් අසල දරුවන් ඔහේපාරවල් , දූවිල්ලේ දමාගෙන සිඟමන් ඉල්ලන්නෝද බහුලය. ලංකාවේ නීතිය අනුව නම් සිඟා කෑම තහනම් කර තිබෙන අතර දරුවන් සමග සිඟා කන අය අත් අඩංගුවට ගන්නා බවත් සඳහන්, ඒවගේම මෑතක ඔය සිදුවීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා කියපු දේත් ඔය හා සමානයි.

අත් අඩංගුවට ගන්නා අතරම හිඟමනේ දරුවන් අරගෙන යන අයගේ දරුවන් ඔවුන්ගේම දරුවන් දැයි ඩී එන් ඒ පරීක්ෂණ මගින් ඉදිරියේදී පරීක්ෂා කරන බවත් පැවසෙනවා. කෙසේ වෙතත් මේ නීති රීති දැඩිවක්‍රියාත්මක විය යුතු කාලයකි. නැත්නම් වෙන්නේ දරුවන්ද රෝගීන් කරවා සිඟමනේ යොදවන්න මෙවැනි පිරිස් පෙළඹීමය. එසේ නම් අප ද පුරවැසියන් ලෙස, සිඟා කෑමේ යෙදෙන පිරිස ට මුදල් ආහාර, රෙදි පිලි ආධාර උපකාර දීම වැරදි ද ? බස් රථ වලට නගිනා, පන්සල් පල්ලි අසල රැඳෙනා සිඟමන් යදින යාචකයින්ට මින් පසු ආධාර කිරීම නවතා දැමිය යුතු ද ?

More info > http://colombogazette.com/2014/10/23/crackdown-by-cops-on-street-beggars/

Sunday, October 19, 2014

මොකෝ මේ ඇඳන් හිස්, කෝ ලෙඩ්ඩු ? අනිත් කොන පොතක් වුණු හැටි....


එදින රාත්‍රි වැඩ මුරය අවසානයේ හදිසි සැත්කම් කිහිපයක් යෙදුණා. ඒ සියල්ල අවසන් වෙනවිට වාට්ටුවෙන් ඇමතුමක් ආවේ ප්‍රසූතිකාගාරයේ දරුවෙක් ලැබෙන්න සිටි අම්මා කෙනෙකුට ටිකක් අමාරු බවයි. එසැනින් මමද අප අලුත් විශේෂඥ වෛද්‍යවරයාද ඉක්මනින් වාට්ටුව වෙත දිව ගියෙමු.

“එක් වරම වාට්ටුව දෙස බැලූ ඔහු “ කෝ මේ මිනිස්සු, මොකද මේ ඇඳන් හිස්… කියා කෙටි බිත්තියට ඔබ්බෙන් පෙනෙන වාට්ටු දෙස විමතියෙන් බැලුවේය. මීට කලින් මධ්‍යම රාත්‍රීයේ වාට්ටුව නොදුටු අප විශේෂඥ වෛද්‍යවරයාට මෙය මහත් පුදුමයක් විය.

“ඔය ඔක්කොමලා බිම රෙදි, පැදුරු එළාගෙන බුදි… ඇඳන් වල නිදියන්න බයයි මේ අය වැටෙයි කියලා… අනික බොහෝ දෙනෙක්ට පුරුදු නෑ. ගෙවල් වල ඇඳන් නෑ.  කොහොමත්, ගස් යට, කැලෑ වැදිලා රැය පහන් කරපු මිනිස්සුනේ” අපි පැහැදිලි කර දුන්නෙමු.

කෙටි බිත්තියෙන් එබී බැලූ විට.. ඇඳන් අසල බිම සහ ඒ අවට ගුලි ගුලි ගැසී සිටින පිරිස දුටු විට ඔහුටද කාරණය වැටහිණි.
ඔවැනි සිදුවීම් කොතෙකුත් තිබිණි.. එකල ඒවා ලියූ නිසා මතකයෙන් ගිලිහෙන්නට කලින් ලියන්නට හැකි වුණි..

මතකද 2009 එක්තරා දිනක මා ප්‍රථමයෙන් බ්ලොග් සටහනක් ලීවා….ඉර හඳ යට ආදරේ විඳින්න, from north with love… කියලා. ඉන්පසු මාසෙකට සැරයක් හෝ මාස දෙකකට සැරයක්… හෙමින් හෙමින් ලියැවුණු අනිත් කොනේ විත්ති මේ සටහන් කියවන සියලු දෙනා හරි ආදරයෙන් ආශාවෙන් වැළඳ ගත්තා. උතුරු කොනේ ජීවිත ගොඩ නැගීම් , ජයග්‍රහණ ලියවෙද්දී ඔල්වරසන් නැගූ ඔබ සැම, පරාජයන්, දුක්වැළපීම් වලදී දුක බෙදාගන්නත් අනිත් කොන සමග සිටියා. මට අවශ්‍ය වුණේ රටේ ඉතාම තීරණාත්මක කාලයක , යුද්ධය අවසානයේ රටගොඩ නැගීමේ කර්තව්‍යයට එක පැත්තකින් උර දුන් සෞඛ්‍යය ක්ෂේත්‍රයේ අපි මුහුණ දුන් දේවල් සහ අනිත් කොන වැසියන්ගේ ජීවිත වල හැඩතල ඔබ හා බෙදා ගන්නයි.
2009 සිට අවුරුදු ගණනක් තිස්සේ ලියමින් සිටි මේ සටහන් මගේ ලේඛිකා මිතුරියකගේ ඇස ගැටෙන්නේ 2014 දී…

"මේ ආටිකල් නම් නියමයි නංගී මේවා මීට වඩා සමාජගත වෙන්න ඕනේ. මේ වගේ අත්දැකීම් ලැබෙන්නේ බොහොම සුළු පිරිසකට....ඇරත් මෙහෙම දෙයක් කවුරුත් ලියලා නෑනේ. මේවා සමාජගත වෙන්න නම් පොතක් කරන්න ඕනේ. ලංකාවේ අන්තර්ජාලයේ කියවන්නේ කීයෙන් කී දෙනාද ?" ඇය මෙය පොතක් විය යුතුමයි කීවා.
ඒ ඇයට මේ බ්ලොග් සටහන පෙන්වූ විටයි. මෙච්චර කාලයක් තිස්සේ ලියලත් අපරාදේ පොතක් නොකළොත් ! බ්ලොග් ලියන පොත් ලියන මිතුරු මිතුරියන් සහයෝගය දැක්වූවා.

 අනිත් කොන ලිපි පොතක් ලෙස පිළියෙල කරලා දෙන්න කියමින් මිතුරු මිතුරියන්ගේ කන් කෙඳිරි ගෑම් සොඳුරු ආයාචන සහ බලපෑම් අභියස පොතක් වුණ අනිත් කොන ලිපි මාලාවේ ලිවීමේ විදිහ කියවන්න පහසු වෙන ලෙස සකස් කරන්නටත්, ඇතැම් ලිපි කපා කොටා පුරුද්දන්නටත් සිදුවුණා. ඒ සියල්ල අවසානේ මා ලියූ කවිද එකතුව පොතක් කරමු යැයි යෝජනාවක්ද පැමිණියා.

නමුත් පොත් ප්‍රින්ට් එකට භාර දුන් පසු මට එහි කිසිම කාර්යයකට එහෙ මෙහෙ දුවන්න බැරි තරම් අමාරු එහෙත් සොඳුරු කාලයක් උදාවුන නිසා ඒ වැඩ වලටත් දුවන්න සිදු වුණේ... මගේ මිතුරියටයි..
අනිත්කොන කතා මාලාව පොතක් ලෙස එළි දැක්වෙන්නේ ඔයාකාරයෙනුයි. අනිත් කොනට ගිය දොස්තර නොදන්නා දෙමළ ගැනත්, ඇස් හිස් මොළ නැති පිශාචයින් මැද අනිත් කොන තනිවුණු ළමා මව්වරුන්ගේ ජීවිත කතා එක්කම ඉන්දු ෆේස් බුක් ගිය ගමන අවසානයේ රාජිතන් අපරාජිත වුණ හැටිත්, ඔස්ට්‍රේලියානුවන් අත්පොළසන් නඟද්දී ඔය ලෙඩාවනම් බේරගන්න එපා කියමින් ගමක් ආයාචනා කළ හැටිවගේම මෙතෙක් කියූ නොකියූ බොහෝ කතා ඒ ඔස්සේ ලියැවුණා.

අනිත් කොන පොතේ කවරයේ පින්තූරය ලැබුණෙත් බොහොම අපූරු සිදුවීමක් නිසා... මේ පින්තූර දකින්න ලැබුණේ අනිත්කොනේම තවත් රෝහලක සේවයේ යෙදී සිටි වෛද්‍ය චන්දන ප්‍රදීප් සොයුරා සහ පිරිස ගමන් ගත් බස් රථය හරියටම පාන්දර නන්දිකඩාල් කලපුව අසලදී ක්‍රියා විරහිත වුණු නිසා... බස් රථය පණ ගන්වනකම් ඔහු, නන්දිකඩාල් කලපුවේ ඉර නැගෙන අයුරු අපූරුවට ජායාරූපගත කර තිබුණා.. මුහුණු පොතෙන් ඇස ගැටුණු ඒ පින්තූරයක් කවරේ සඳහා යොදා ගත්තා. කවර දෙකම සකසා දුන්නේ අසේල ජයරත්න සොයුරා යි.

මනුපුර සක්මන කියා කවි පොතකුත් ලීවා.... මේ කවිත් අනිත් කොන කතා ලෙසම ලියැවුණු ඒවායි.. බොහෝ කවි රෝහල් ආශ්‍රිත අත්දැකීම් වලින් ලියැවුණු ඒවායි…  එදිනෙදා ක්ලිනික් වල වාට්ටු වල දකින පුංචි එවුන්ගේ දුක් කඳුළු පිරුණු ජීවිත ගැනයි… රෝගියාගේ පැනය නමින් පැන කිහිපයක් කවි කර ලීවා, ඇත්තටම අපෙන් අහන ප්‍රශ්න ! යාල් දේවි දැන් යාළුයි කවි පන්තිය , අනිත්කොන සේවය කළ කාලයේ පටන් අපට ගමන් පහසුව සැලසූ යාල් දේවි ගැනයි. කලින් අතරමග නැවතුන මේ දේවී අද යාපා පටුනටම ගමනේ .. ඒ ගැනත්… බලාගත්තු අත බලාගෙන ඉන්න අහිමි වුණ සිහින ගැන දොඩන ගීතා ගැනත්… මා අතින් ඇඳුණු කළු සුදු චිත්‍ර ප්‍රමාණයකුත් මේ පොතට ඇතුළත් කළා.

ලංකාදීප සහ ලක්බිම පුවත් පත් වල සාකච්ජා දෙකක් පත්තර පිටු භාගයක් පුරා ලියැවී තිබුණා. ගමනේ යෙදෙන්නට අසීරු කාලයක් ගත කරමින් ගර්භනී අවධියේ සිටින මා කෙරෙහි අනුකම්පාවෙන් ලක්බිම පුවත් පතේ, මාධ්‍යවේදි සොයුරා දුරකථන මාර්ගයෙන් එම ලිපිය සඳහා සාකච්ජා කළා. ඇත්තටම මනුස්සකම් සපිරි මිනිසුන් වගේම හිතමිතුරුකම් වල සවියත් ඇතැම් සිත් වල නිහැඬියාවත් විඳිමින් මේ ගතවුනු මාසයේ පොත් දෙකටම ලැබුනු විචාර සහ අදහස් තවත් ලියන්නට හිත දිරිමත් කළා. මතකනේ මේ අගෝස්තුවේ මුලදීම ඉතා ආසාවෙන් කියවපු තිලකසිරි ඒකනායක සොයුරාගේ තිලක සිත බ්ලොග් පිටුව පොතක් වුණා. ඉන්පසු අක්කන්ඩී හෙවත් පුෂ්පා රම්ලනී රත්නායක සැබෑ ජීවන අත්දැකීම් ඇසුරින් ලියූ සුදු හිම පලස පොත පිටවුණා.. ඉන්පසු මේ පොත් දෙක !

ඔබට හැකිනම් රැගෙන කියවන්න… කියන සොඳුරු ආරාධනයත් සමග මේ පොත් දෙක දැනට ගන්නට පුළුවන් -

බොරැල්ල - YMBA හි කල්‍යාණ මිත්‍ර පොත් හල,

මරදාන - දයාවංශ ජයකොඩි පොත් හල,

නුගේගොඩ - සරසවි පොත් හල

ගෙදරට ගෙන්වා ගැනීමේ පහසුකම සමග නාවල easyhome shop හි

http://www.easyhome.lk/29-books පොත් සඳහා වෙන් වුනු කොටසේ


ඒ විතරක් ද, මීට පෙර පොතක් ලෙස පිට වුනු, තිලකසිත ලියන තිලකසිරි ඒකනායක මහත්මයාගේ තිලක සිත පොතත්, අක්කන්ඩී හෙවත් පුෂ්පා රම්ලනී රත්නායක මහත්මියගේ සුදු හිම පලස පොතත් එම අඩවියෙන් ගෙදරටම ගෙන්වා ගත හැකියි...


ඒ වගේම , මේ පොත ගැන සංවාදයක් ඔක්තෝබර් 31 වැනි දින  ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ , මහාචාර්‍ය සුනන්ද මහේන්ද්‍ර මහත්මයා ඇතුලු විද්වතුන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙනවා... ඒකටත් පොත කියවූ, අනිත් කොන කතා මාලාව හා අත්වැල් බැඳගත් සහෘද ඔබට ආරාධනා කරමි.

Wednesday, October 1, 2014

Blog became a book - Blook ! A doctor's heart sutra ...

From Daily News , Wednesday the October 1st 2014

Healing notes of a medical doctor

Prof. Sunanda Mahendra 

In a war-torn society, nothing looks bright. Humans are driven to poverty and grave need, inclusive of medical care. But with changes in a post war situation, certain social factors are lightened up. Medical care too is registered to reach a certain degree of restoration.
With a strange vein of luck, I came across a collection of human notes. It is a collection recorded by a young medical doctor sent to serve in a government hospital in north. As was recorded in her blog, these notes are denoted by a broad titled ‘The Other One’ or the ‘The Other End’, and titled in English as ‘a doctor’s heart sutra’. The notes from the blog have come down now as a book packed with human interest stories, written by Dr Bodhini Samaratunga (Thatcher Publishers 2014). In the first episode you come across how this doctor is posted to a particular hospital without Tamil language skills.
But as the events unveil, the reader feels that the narrator has the inner urge to learn Tamil. This she did by making use of several study methods. She bought all the possible books written in Sinhala to learn Tamil.
She leaves no stone unturned in her efforts to learn Tamil. This culminates in her fluency to the point that she manages to speak in Tamil with colleagues as well as patients. Onlookers are surprised at her speed of development in learning Tamil. Dr Samaratunga human-interest stories shift from ward to ward, from patient to patient. She attempts to peep into the lives of patients in a very unconventional manner, sensitively bringing to the forefront factors such as agonies and ecstasy in childbirth and motherhood, the severe pitfalls in marital intimacies, sexual misbehaviour, grave mental disorders, the care anticipated in a postwar situation, the scarcity of money to buy medicines and other provisions.
The need for the human touch as against administrative regulations is pinpointed as a need of the day in medical profession. In one of the events, a mentally disordered young girl meets the narrator engaged in facebook. The young patient, who is inquisitive and unaware of what the doctor is doing, goes on to inquire why she dangles with the computer. The questions reach a point when the patient remarks that the doctor is silly.
The young doctor, who knows the mental state of her interlocutor, just smiles and accepts without anger or ill will. Dr Samaratunga’s experiences reach the reader as lessons in religiosity. The true-to life episodes too enlighten the reader on the need by cordial and kind hearted to those who come to you in need. The notes as jotted down by the doctor include factors such as morality, love and intimacy needed by a family unit. The need to know the ways of prevention from sicknesses such as kidney ailments are underlined.
When a group of people are driven to a bad environment, the ailments around them get wider and wider. As such, creative preventive measures have to be taught by medical professionals as intimate dialogues devoid of aggression and anger. Several notes centre round taking into account the factors that lead to suicidal forces and degradations in sicknesses. There is a sensitive series of jottings on the aspects of unmarried, unwanted, teenage pregnancy, which looks more like communication case study conducted by a medical doctor. As a reader I was touched by the immense human barricades that lie behind the series of events in the life of a 17-year girl.
It looks as if the compassionate young doctor is asking a series of questions from the social reformers as well. The very first question seems to be on what are the steps that go into curbing of the social disaster. Triggering off from the point there comes out yet more questions. What changes in the name of social development should take place? From where are we going to commence the development? Where lies ignorance as against the knowledge?
There is one wonderful event that had taken place in the hospital premises. A certain mentally disordered young girl had entered a certain ward with a stethoscope in her gown pocket posing as a trainee doctor. But in the interlocution that ensues, the authorities detect that the person is a quack succumbed to misdeeds. It is underlined that the sheer understanding is beyond punishment.
In this manner, the reader is gifted with a series of human episodes as encountered by a young doctor who looks like a demigod who goes round the words and meets patients in the brightest moods possible. I sincerely felt that someone should translate these episodes numbering to 38, into English and Tamil especially as they centre round two languages. One fine day this would be a gift to the world from a doctor who had lived and served in a postwar situation of our country. 
- See more at: http://dailynews.lk/?q=features%2Fhealing-notes-medical-doctor#sthash.Ie9DgO2R.dpuf

Wednesday, August 20, 2014

පොඩ්ඩන් වෙනුවෙන් ලියැවුනු රන්දිගේ "සොඳුරු බාලේ ගෙවුනු තාලේ"


"දුවලා ලෙඩ වැඩි උනොත් පුතේ ගෙදර යන්න බැරි වෙයි..." වාට්ටුව පුරා දුවන, පොඩි චන්ඩි පැංචෙක්ට මගේ සුපුරුදු දේශනය දුන්නා.
" කමක්  නෑ මං මෙහෙ ඉන්නවා" පැංචා දුන්නු උත්තරෙන් මම පුදුමයට පත් වුනා.
මෙහි එන ඔක්කොම කැමති ගෙදර යන්න ඒත් සමහර පැංචො , පැංචියො කැමතියි ඉස්පිරිතාලේ ඉන්න. අන්න ඒ අයගේ කතන්දරයයි අද මම කියන්නේ.
" ආයෙ දිව්වොත් එහෙ මෙහෙ යවන්නේ නෑ ගෙදර... " මම සුපුරුදු භය කිරීමේ අවිය පාවිච්චි කරා අපේ වාට්ටුවේ හිටපු දඟම දඟ පැංචෙක්ට.
" ආ කමක් නෑ මං මෙහෙ ඉන්න ආ....සයි" මේ නම් මහා ඇට්ටර පැංචෙක්.
ඒත් මේ ඔවුන්ගේ ඉස්පිරිතාලේ ඉඳීමේ කැමැත්ත පිටුපස මහා ඛේදවාචක ගොඩක් හමුවෙනවා. ඔවුන්ගේ ගේදොර සමාජ වටපිටාව විපරම් කල විටයි වැටහෙන්නේ මේ දරුවාට නිදා ගන්න ඇඳක් ලැබුනේ ඉස්පිරිතාලෙදී බව, කුඩා ලෑලි ගෙවල් වල පැදුරු කඩමාලු වල , ඇතැම් විට වැඩිහිටි ආරක්ෂාවක් නැතිව මේ දරුවෝ නිදන්නේ. සමහර ගෙවල් වලට වැස්සට වතුර දැම්ම විට, කන්න බොන්න අඟහිඟ වුන විට, සමහර දෙන්නා දෙමහල්ලෝ රණ්ඩු සරුවල් වුන විට, දරුවන් උස්සාගෙන ඉස්පිරිතාලේ නවතින්න එන අම්මලාත් අඩු නෑ. ඔවුන්ට මේ පරිසර තුලදී ඇසෙන වාග් මාලාව නුසුදුසුය, දකින ආදර්ශයට ගන්නා දේ නුසුදුසුය.

 "එහෙනම් ඉන්ජෙක්ෂන් එකක් දෙනවා ඔන්න දැඟළුවොත් එහෙම ආයෙත්" මගේ භය කරන ටැක්ටික් පාවිච්චි කරා.
" අපෝ දෙන්න දෙන්න මං භය වෙයි ඕවට" ඔහු අත පෙන්වයි.

විශ්වාස කරන්න.. මේ පොඩි එකාගේ වයස අවුරුදු 4යි. ආයෙම සැරයක් දුටුවේ අම්මා කියන දෙයක් කනකට නොගෙන වාට්ටුව පුරා දුවන ආකාරයයි.

"එක විදියකට ඉන්නේ නෑ දුවනවා වාට්ටුව පුරාම ඉතින් කොහොමද අසනීප හොඳ වෙන්නේ" දඟකාර පැංචා දිහා බලාගෙන මම ඔහුගේ මවට කීවා.
"අහන්නේම නෑ කියන දේ ඩොට්ට"  ඇදුම වැඩි වී පැමිණි මේ පිරිස සිටින්නේ කොයි පුරයකද යන්න කතා බහෙන්ම වැටහේ.
"බත් කෑවද පුතේ" මම ඔවුන් පරීක්ෂා කරන ගමන් යාළුකම් පාන්නට එසේ අසමි එතකොට මදක් හෝ මොවුන් සන්සුන් වේ.
"අනේ මේ වැඩක් බලාගෙන යන්න" මේ පැංචා කියයි. " මේ දන්නවද මම හරි වසයි" ඇඟිල්ල උරුක් කරමින් පොඩි දුවෙක් දවසක් අප සැමට ගෝරනාඩු කල විට ඇගේ අම්මා කීවේ,  "අනේ ඩොක්ටර් ගෙදරත් ඔහොමයි" කියාය.

ඒ ඔවුන් හැදෙන වැඩෙන පරිසරයේ ආභාෂය වෙන්නට පුළුවනි. දරුවන් හැදෙන්නේ වැඩිහිටියන් දිහා බලාගෙනයි. ඔවුන්ගේ කුඩා මනසවල් හරියට අඹන්නට පෙර තියෙන මැටි ගුලියක් වගේ. නමුත් ඔවුන් ජීවත් වෙන සමාජය විසින් ඔවුන්ව කුඩා වැඩිහිටියන් බවට පත්වෙලා. ඔවුන්ගේ ඇසට පෙනෙන්නේ, කනට ඇහෙන්නේ ඒ වයසේ දරුවෙක් නොදැකිය යුතු, නෑසිය යුතු දේ. අපි කොහොමද මේ අයගේ පරිසරය වෙනස් කරන්නේ. අප වාට්ටුවේ තිබෙන රූපවාහිනී යන්ත්‍රය ඉදිරි පිට පොඩි දරුවෝ පෙළ ගැහෙනකොට නම් මම ඉතා කල්පනාකාරීයි, සමහර විට ළමා වැඩසටහන් අතරතුර පෙන්වන වෙනත් වැඩසටහන් ගැන සඳහන් කිරීම් ඇත්තටම දරුවන්ට සුදුසු නැතිවා වගේම අද තිබෙන දැන්වීම් ප්‍රචාරන ක්‍රමද බොහොම බාල වර්ගයේ ඒවාය. සිංදු කියා බලන්නට අසන්නට දෙයක් ඇත්තේම නැත. අවාසනාවකට මේ දරුවන්ගේ නිවෙස් පරිසර වල වැඩිහිටි රූපවාහිනී වැඩසටහන් බලන්නට නිරන්තරයෙන්ම මේ කුඩා වුන් පුරුදු වි ඇති ගතියක් දකින්න ලැබෙනවා. රාත්‍රී 8 න් පසු රූපවාහිනිය ළඟ පොදි ගැහෙන්නට අප සමග රණ්ඩු සරුවල් කරන දරුවෝද එමටය. වාට්ටුවේ කුඩා උන් සඳහා පුස්ථකාලයක් පැවතියද අපි හරි හෙද සොයුරියන් හරි බලෙන් මතක් කළොත් මිසක් අර අම්මලාටවත් දරුවන්ට නිසි යමක් කියා දීමට උවමනාවක් නැති බවකුයි වැටහෙන්නේ.

ළමයින් වෙනුවෙන් ඇති දෑ කප්පාදු වෙන නොසලකා හැරෙන ලොවක අපට ඉතා වටිනා ආරංචියක් ලැබෙනවා. ඒ , බ්ලොග් අවකාශයේ නිදහස් සිතුවිලි තුලින් බොහෝ කල් සිට බ්ලොග් තුලින් අප හමුවූ රන්දිකා සොයුරිය ළමා ලෝකයට තිලිණ කරන අපූරු පොත් පිංචක් ගැන ආරංචියයි.  පුංචි දරුවන්ගේ ලෝකය විනාශ කරන්නටම වෙර දරන මිනිසුන් මැද, සෑම මාධ්‍යයකින්ම සිදුවෙන්නේ කුඩා මොළ විනාශ කරවන ඔවුන් හට නොගැලපෙන විවිධ දේ තුලින් ඔවුන්ගේ මනස විකල් කිරීමය. 

එවැනි සමාජයක රන්දිකා රණවීර, පොඩි දරුවන්ට තිලිණ කරන මේ පොත තුලින් ළමා මනසට ගැලපෙන ආකාරයේ ආමන්ත්‍රනයක යෙදේ. 
"පුතේ මම පොඩි කාලේ මට වුන දේ මෙසේයි" කියමින් ඇලෙසැන්ඩර් රස්කින් ලියන ලද මේ කතා මාලාව අපේ රටේ දුවා දරුවන්ට ගැලපෙන ලෙස අනුවර්ථනය කර ඇති අයුරු අපූර්වය. ඒ තුලින් ඔවුන්ට සමාජය පිළිබඳව කදිම අවවාද සහිත පණිවිඩයක්ද ඇතුල් කරයි. මට ඇගේ බ්ලොග් පිටුව තුලින් පොතේ පරිඡේද කිහිපයක් කියවන්නට ලැබිනි.දරුවන්ට ලියවුනු පොත් අඩු මේ කාලයේ අපේ දැයේ දුවා දරුවන්ට කියවන්නට දිය යුතුම පොතක් අප අතට පත් කිරීම ගැන රන්දිකා මා මිතුරියට මම බෙහෙවින් ස්තූති වන්ත වෙමි. මේ 23 වැනි සෙනසුරාදා සවස 3 සිට 6 දක්වා කොළඹ 7 පුස්තකාල සහ ප්‍රලේඛන ශ්‍රවණාගාර ශාලාවේදී පැවැත්වෙන මේ පොත දොරට වැඩීමේ උත්සවයට සියල්ලන්ටම ආරාධනා කරමින් රන්දි මුහුණු පොතේ මෙසේ සඳහන් කර තිබුනා. 

මෙන්න මුහුණු පොතේ යොමුව, ඔබේ පැමිණීම සටහන් කරන්න. 


Wednesday, March 26, 2014

නිවන් යන්නට සිතා පණුවන් කාපු කතා....

මේකත් අනිත්කොණ මානසික වෛද්‍ය ඒකකයේදී මට මුණ ගැසුනු චරිතයක් ගැන කතාවක්... ඔහු අප වෙත ගෙන ආවේ ගමේ පිරිසක්. නමුත් වෙන රෝගීන්ගේ මෙන් කලබලකාරී හෝ ප්‍රචන්ඩ ගතියක් මොහුගෙන් පෙනුනේ නෑ. බොහොම ශාන්ත ලෙස එළියේ බංකුවේ ඉඳගෙන සිටියා. ඔව් බොහොම ශාන්ත මනුස්සයෙක්. ඔහු මෙහි ගෙන ආවේ හරිම අත්භූත සහගත ක්‍රියාකාරකම් කරනවාය කියලා. පාර අද්දර ගස් අතර හැංගිලා ඉඳන් පැමිණෙන වාහන ඉදිරියට පැනීම, කුණු කසල කෑම එවැනි ක්‍රියා කීපයක්. හැබැයි ඔහු නේවාසිකව වෙදකම් ලද ඒ කාලයේ නම් අපේ ඒකකය ඔහු නිසා ඉතා පිරිසිඳුව තිබුනා. ඒක අපූරු කතාවක් !


උදෑසන සායන වටයට ලක ලැහැස්තියෙන් රෝගීන් සියල්ලන්ම සිටියේ එළියේ බංකු පෙළ මතයි.
" ඊයා , චිකේ... යන වචන පෙළත් ඉන්පසු " දාන්න කිව්වේ කටට දා ගත්තු කුණු එළියට " කියා අපේ වාට්ටුව බාරව සේවය කළ පිරිසිඳු කරන්නිය කෑ ගහන අන්දම මට ඇසිනි.

බලද්දී ඇය අතුගාන පස්සෙන් දිව යමින් ඇය එකතු කරන කුණු කසල සියල්ලද දූවිලිද එකතු කර කටේ දමාගනිමින් සිටියේ මා ඉහත සඳහන් කළ රෝගියාය. ඔහුට අපි පාල යැයි කියමු. බොහෝ වෙර වීරියෙන් කුණු ගොඩෙන් මෑත් කළ පාල අප වෙත ගෙන ආවේ තවත් සාත්තු සේවකයින් දෙන්නෙක්.

"පාල මොකද මේ කුණු කන්නේ"

අපේ ප්‍රශ්ණ හමුවේ ඇස් බිම දෙසට යොමාගෙන සිටි පාල ඔබ මොබ බලමින් සෙව්වේ කන්න යමක් බව අපිට වැටහුනේ නෑ.. ටික වෙලාවක් සන්සුන්ව සිටි ඔහු වහා ඉදිරියට පැන කොරිඩෝ බිමේ ගමන් කරමින් සිටි පස් වල සිටින හකරැල්ලෙක් කටේ දමා එසැනින් හපා ගිල්ලේය. අපිට දැනුනේ පුදුම අප්පිරියාවකි.

 " මොකෝ පාල මේ වගේ අප්‍රිය ජනක වැඩ කරන්නේ"

"ඒ කීවේ ? කිසිවක් සිදු නොවූ අයුරින් පාල අසයි.

" මේ කුණු කන්නේ මොකද?"

" නෝනා ඕකට හොඳ හේතුවක් තියෙනවා ඒක නෝනට කියන්න තරම් මට නෝනව විශ්වාස නෑ"

මේ හාදයා මේවාට හේතු සම්පාදනය කරනකම් අර කාපු කුණු නිසා ආසාදන ඇතිවිය හැකි හෙයින්, අවශ්‍ය බෙහෙත් වර්ග ලියා තබා ඔහු ගැන කල්පනාවෙන් සිටින ලෙස අනික් අයටත් පැවසුවෙමි. දින දෙක තුනක් යද්දී පාල නිතරම අපි සමග කතා බස් කළ හෙයින් යහළු විය. හැකි තරම් වලකා , අර කුණු කෑම නම් නවත්වා ගත්තෙමු. නමුත් වාට්ටු දෙපස සියලු පෙදෙස් ඉතා පිරිසිඳු විය. ඔහු නිසා පොඩි දුහුවිල්ලක් වැලි කැටයක්වත් නොතියන්නට පිරිසිඳු කරන්නියන් යුහුසුළු විය. මන්ද පොඩ්ඩක් එහෙමෙහෙ වුනොතින් මොහු බිම ඇන තියාගෙන වැලි කැටය පවා කටට ගන්නා හෙයිනි. හතර වන දින ඔහුට මා කෙරෙහි විශ්වාසය ඇතිවූ සෙයකි.
" නෝනා දන්නවද මම බුදු බව ප්‍රාර්ථනා කරනවා. ඒකයි මම බිම වැටුනු කුණු කන්නේ" ඒ වදන් පෙළ ඇසුනු සැනින් අප සියලු දෙනා පුදුමයට පත් විය.

" එහෙම කොහොමද පාල , බුදු වෙන්නේ" මම ඇසුවෙමි.

" ඔය කුණු බිම තිබුනොතින් මේ පොඩි ළමයි එහෙම කටේ දාගන්නවනේ නෝනා, ඒ ළමයින්ට ලෙඩ වෙලා මැරෙන්න පුළුවන්, මම කුණු කෑවම ළමයින්ට එහෙම ලෙඩ වෙන්න චාන්ස් එකක් නෑනේ. මම එයාලව මරණයෙන් ගලවනවා" ඔහු බොහොම ආඩම්බරෙන් කියන්නට විය.
"එතකොට පණුවෝ කන්නෙත් ඒනිසාද පාල ?"

ඔහු බොහොම අවිහිංසක සිනහවක් පා " ඔව්" යැයි පැවසුවේය.

මනස දුර්වල වූ මෙවැන්නන්ගේ හිත් හදන්නට බොහෝ කල් ගතවෙයි. විකල් මනසින් එළි බසින සිතුවිලි නිසා ඔවුන් බොහෝ සෙයින් සම්මත ජිවිත වලට වෙනස් දෑ වල යෙදෙයි. එනිසාම සමාජයෙන් කොන්වෙයි. බොහොම සුළු පිරිසක් මෙලෙස මානසික රෝගී ඒකක වලින් උපකාර ප්‍රතිකාර ලබති.

"පාරේ වාහන හයියෙන් යනවා. එතකොට ඇක්සිඩන්ට් වෙනවා. මම පාරට පැන්නම එයාලා බ්‍රේක් කරනවනේ. එතකොට ඊට පස්සෙ හෙමින් යනවා. සමහරු මාව දැක්කාම. මම පනියි කියලා දන්න නිසා හෙමින් යනවා එයාලගේ පණ බේරෙනවා. මම බුදු වෙන්නයි එහෙම පාරමිතා පුරන්නේ " ඔන්න පාලගේ පැහැදිලි කිරීම අර මම මුලින් සඳහන් කල , පාරට පැන වාහන නැවැත්වීම සම්බන්දයෙන්.

" මම බොහොම නිදහසේ ඉන්නේ. ඉඩ කඩම් සේරම නෝනට දරුවන්ට ලියා දුන්නා. ඉතින් මට කැමති විදිහකට ඉන්න ඒ ගොල්ලො ඉඩ දෙන්න ඕනා නේද ?" ඔහු අපෙන් විමසයි.

" මෙහෙමනේ පාල... ඔයා ඔය හැසිරෙන විදිහට හැමෝටම ඔයාගෙන් කරදරයක් වෙන්නේ. ඒ අය ඔයා නිසා දුක් වෙන කරදර වෙන එක ඔයාට පවක්. පනුවෝ කුඩා සත්තු එහෙම කෑවම උන්ගේ පණ හානි වෙන නිසා ඒකත් පවක්. බුදුවෙන්න නම් ඔය කරන දේවල් කළ යුතු නොවේ"

මා දන්නා අයුරින් කර්මය සහ භවය ගැන ඔහුට පැහැදිලි කලා. ඔවුන්ගේ හිත් වල ඇති අදහස් වෙනස් කරන්නේ අපේ නොනවත්වා දෙන උපදේශන මාලාව නිසාද බෙහෙත් නිසාද ? ඒ දෙකම නිසා නොවෙද ?කියා මට සිතේ...සති 3 පමණ අප ඒකකයේ සිටි ඒ මහතා, පසුව ඔහුගේ සිතුවිලි වල බොහෝ වෙනස්කම් සිදු කරගත්තා. පසුව පැවති මාසික සායන වලට ඔහු පැමිණියේත් තනියමයි.එහිදී ඔහුගේ පැහැදිලි හොඳ අතට සිදුවූ වෙනස්කම් දුටුවා.


අපේ පොඩ්ඩෝ

ඉසිවර වෙදැදුරු ගැන කමෙන්ට් ලැබුනු පසු ගිය පෝස්ට් එකෙන් පස්සේ ඒ ගැන ලියන්න හිතුනා. ඒ කිව්වේ ඇත්තටම රූපවාහිනීයේ යන ඉසිවර වෙදැදුරු කියන නාට්‍යය ගැන. එහෙම නාට්‍යයක් තියෙනවා කියලා කනින් කොනින් ඇසුනත් ඇත්තටම වෙලාවේ ප්‍රශ්ණයක් නිසා කවදාවත් ඒ වෙලාවට රූපවාහිනිය නරඹන්න ලැබුනේ නෑ. එක්කෝ වාට්ටුවේ එහෙම නැත්නම් එවෙලෙට ගෙදර වැඩ, උයන පිහන වැඩ කරන්නේ ඉතින් හවසටනේ. අපේ වාට්ටුවෙත් රූපවාහිනියක් තියෙනවා. වාට්ටුවේ ඇතුල්වෙලා ඉන්න පොඩ්ඩො පොඩ්ඩියො ටික මේක වටේම අරක් අරගෙන ඉන්නේ හවස් වෙනකොට. ඊට පිටිපස්සෙන් තමයි අපේ ඩොක් මේසේ තියෙන්නේ. මම නම් කොහොමත් රූපවාහිනිය නරඹනවා අඩුයි. එනිසා ටෙලිනාට්‍ය කතා ගැන වැඩි ඇල්මක් නෑ. ඔහොම ඉන්නකොට ඉතින් අපේ පණ්ඩිත රාළලාගෙන් තමයි එයාලා ආසාවෙන් බලන වැඩසටහන් ගැන මටත් දැනගන්න පුළුවන් වෙන්නේ. එයාලා ආසාවෙන් බලද්දී අපි වෙනත් කාර් යයන් වල නිරත වෙන එකත් මේ පොඩ්ඩොන්ට ප්‍රශ්ණයක්. ඔන්න ඔය කියන ඉසිවර වෙදැදුරු යන වෙලාවෙත් මේ ළමයි ටික දුවන් ඇවිත් ඒක බලන්න ඕනැයි කිවා.

එයාලා ඔන්න ඉතින් කොරියානු නාට්‍යය බලනවා, මම මගේ පාඩුවේ ලියන්න තියෙන ටිකට් ටික චෙක් කරනවා. මම දන්නේ නෑනේ ඉතින් ඔය වෙදැදුරු . මගෙන් කිසි ප්‍රතිචාරයක් නොමැති තැන එක පැංචියෙක් අහනවා.
ඩොක්ට ඇන්ටි ඔයා ඉසිවර වෙදැදුරු බලන්නේ නැද්ද ? කියලා.
"නෑනේ පුතේ"
"ඇයි ඒ " ඒපාර තව ප්‍රශ්ණයක්.
"මං ටී වී බලන්නේ නෑනේ" යන්තම් ගැලවෙන්න මම උත්තර දුන්නා හැබැයි ඇත්තම.
 ටික වෙලාවක් කල්පනා කල මේ පැංචි " ඇයි ඔයා බෝඩිමකද ඉන්නේ.. " යැයි ඇසුවා.

Tuesday, March 11, 2014

මෝසම් වැස්සත් හිතන තරම් සොඳුරු නෑ! අනිත් කොණේ ගංවතුර

මෝසම් වැස්ස අනිත්කොනට අළුත් දෙයක් නෙමෙයි.. ඊසාන දිග මෝසම් කාලය තමයි ඒකාලේ අපිට තිබුණු දුෂ්කරම කාලය. පළාත් පිටින් ගංවතුරෙන් යට වෙන්නත්, රෝහල ඇරෙන්න අනික් සෑම පෙදෙසක්ම ජලයෙන් යට වෙන්නත් පටන් ගන්න නිසාම ඒ, සාමන්‍ය වැසියන්ටනම් දරුණුම කාලයක්. ලෙඩ කියාගෙන ඇත්තටම එන්න අයත් ලෙඩ නැතුව බොරුවට එන අයත් එමටයි. බොහෝවෙලාවට එහෙම කිසිම රෝගී බවක් නැතුව ඉස්පිරිතාලෙට එන්නේ ඉන්න හිටින්න තැනක් නැති වුණ අයයි.

ඒ කාලෙදි බැරි වෙලාවත් අපිට ගෙදර යන්න වුණොත් ඒකටත් ඉතින් පුදුම දුකක් විඳින්න ඕනේ... බොහෝ වෙලාවට එහෙ යනකොට ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නෑ.. ඇයි ඉතින් ගංවතුර ගලලා පාරවල් වැහිලා කෝච්චි පාරවල් පවා වැසී කෝච්චි ගමනාගමනය අමාරුනම් අපි නොගිහින්සේවයේම යෙදී සිටින නිසා නමුත් ප්‍රශ්නේ ඇති වෙන්නේ මෙහෙම නිවාඩු ගිහින් ආපසු එන්න යෙදෙන දිනවලම කොළඹ ඉඳන් අනිත්කොනට තියෙන දුම්‍ රිය මාර්ග වැසිලා, කෝච්චි යන්නේ නැතැයි කියලා නිවේදනය කරාම. නිවාඩු නැතුව ගෙවල් වල ඉන්නත් බෑ..

 අනික අපි ආයෙ එනකම් අනෙක් අයට නිවාඩු ගන්නත් බෑ. ඒ කාලෙට බොහොම දරුණුවට ඉස්පිරිතාලෙම කාර් යය බහුල වෙන නිසා නිවාඩුපාඩුවේ වැඩි කල් ඉන්නත් බෑ ඉතින්. ඔහොම කීප ගමනක්ම බස් වල පිහිටෙන් යන්න එන්න වුණත් අතර මග වැව් පිටාර ගලලා බොහොමකරදර වලට මුහුණ දෙන්න වුණා. පැය ගණන් බස් වල ඉඳගෙන ඉන්න වුණා. පැය 12 පමණ ගමනේ යෙදෙන්නත් වුණා. බස් එකේදී අසනීප වෙන අය ගැන බලන්නත් උණා. ඒ ගැන පහළ ජායාරූපම සාක්ෂි සපයාවි. මේ පින්තූර නම් පරණයි. ඒ කාලේ ගත්ත ඒවා නේ...

මේ ලියන අනිත්කොන හිටියේ බස් එක ඇතුළේ, ඇතැමුන් දුම්‍ රිය පොළේ සිට අරෝග්‍ය ශාලාවට යන්නත් වාහන ගෙන්වාගත්තත් අනිත්කොන ලියන මා සිටින්නේ බොහොම වෙනස් මතයක. එනිසා පොදු ප්‍රවාහන සේවය පමණක් අනිත්කොනට යන්න එන්න පාවිච්චි කරා.



I was inside the bus when it slowly took off ...






මෝසම් වැසි සමයේ පාරවල් හරහා වැව් උතුරා ඇල දොල ගලා යද්දී පාර පෙන්නුවේ, ත්‍රස්තයින්ගෙන් මේ පෙදෙස් මුදාගෙන මිනිස් ජිවිත වලට නිදහසක් ලබා දුන් ත්‍රිවිද හමුදාවමයි. ඔවුන් මෙහෙම පාර හොයාගෙන පාර මායිමේ වතුරේ බැහැගෙන සැර වතුර පහර මැඩගෙන පාර පුරා හිටගත්තම තමයි බස් ලොරි වගේ බර වාහන ඔවුන් පෙන්නන ඒ මං ඔස්සේ ඉදිරියට ඇදුනා.  බස් එක තුල සිටින අනිත්කොන ලියන්නා, පිහිනුම් ශාස්ත්‍රයේ අල්පමාත්‍රයකවත් දැනුමක් නැත්තෙක් නිසා සිටියේ විනාඩියකට එකසිය පනහක පමණ හර්ද ස්පන්දනය වන අවධියක ය.









හැබැයි මේ දුෂ්කර අවදියේ ... දැන්නම් ඒ පළාත් වල පාරවල් හැදිලා ඔය වතුර එහෙම පාලනය කරන්න වැව් හාරලා බොහොම හොඳින් කළමනාකරනය කෙරුනු බවක් දකින්න ලැබෙන්නේ... මේන්න ඒ නයින් එකේ වත්මන් පින්තූරයක්...




ඒ කාලෙට ඉතින් වාට්ටුවලට ඇතුල් වෙන රෝගීන් පිරිස බොහෝම වගේම වාට්ටුවලින් පිටකරගන්න බැරි පිරිසත් බොහෝමයි. සායනවටයේදී ඔහොම නොයන අය නිසා අපේ ලොක්කොන්ගෙන් ඒ කියන්නේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් අපි බැණුම් අහන්නේ  සායන වටයේදී...

 "මේඅහවලා මෙයා ආවේ මේ නිසා ඒත් දැන් මොකුත්ම රෝග ලක්ෂණ නෑ..". කියලා විශේෂඥ වෛද්‍ය තුමියට හරි තුමාට හරි ( අපිටවිශේෂඥයෝ දෙන්නෙක්ම හිටියා) කියද්දී... 

"එහෙනම් මොකටද තියන් ඉන්නේ, මේ ඊයේ ඩිශ්චාජ් කරපු කෙනා නේද ? " ඔහොම ප්‍රශ්නඅනන්තයි. 

" ගංවතුර ගලලාලු, පාර කැඩිලා බස් යන්නේ නැතිලු, ගෙදර හැමෝම කඳවුරේලු" වගේ උත්තර තමයි ඉතින් අපෙන්ලැබෙන්නේ. 

ඒ අයත් අපේ අනුකම්පාව ගැන බොහොම උපේක්ෂාවෙන් හිතපු නිසා අපේ වාට්ටු නිකම්ම අනාථ කඳවුරු බවට පත්වුණා.ඔහොම ඉන්න අතරේ මේ අයට බෙහෙතුත් ඕනෙ වෙනවා. එයාලා හිතන්නේ අනික් අයට ලැබෙන බෙහෙත් නොලැබුණොත් ඒකත්අඩුවක් වගේ. ඉතින් මොකක් හරි බොරු රිදීමක් කියාගෙන එනවා. 

එක්කෝ භයානක යමක්... ලේ වමනේ ගියානේ ටොයිලට් එකේදී...ඒකත් ඉතින් අපිට පෙන්වන්නේ නෑනේ.. ඉතින් කරන්න ඕනේ පරීක්ෂණ කරලා මොකුත්ම ලෙඩක් නැති බවට ප්‍රත්‍යක්ෂ කරලා බැලුවම සමහර විට එයාලගේ ලෙඩෙත් හොඳ වෙලා. ආයේ ගියොත් කියන්න කිව්වට කවදාවත් එහෙම පෙන්වන කෙනෙක් නම් නෑ. සමහර අයටමොකුත්ම නැත්නම් පණු බෙහෙත් හරි ඕනෑ වෙනවා. එහෙම නැත්නම් ශක්ති පෙති කියලා එයාලා හඳුන්වන විටමින් පෙත්තක් හරි ඉල්ලනවා.

ඇඳන් මදි !

ඇඳන් උඩත් බිමත් රෝගීන්, සමහර ඇඳන් වල තුන් හතර දෙනා ඉඳගෙන. අන්තිමට මෙහෙම බලන්න බැරි නිසා සායනවටයට කලින් ඇවිදගෙන කෙළින් ඉන්න පුළුවන් එච්චර ලොකු බරපතල රෝගාබාධ නැති, ගංවතුර ගලපු නිසා හෝ ගෙයක් දොරක්හරියට නැති නිසා ආපු වැඩිපුර කට්ටිය එළියේ කොරිඩෝවට ගන්නවා, 
පෝලිමක් හදලා එක එක්කෙනා අපේ රෝගීන් පරීක්ෂා කරනකාමරයට අරගෙන බලාගෙන බලාගෙන යනවා. මේ විදිහට කළ විට අපේ විශේෂඥවෛද්‍යතුමියට හෝ තුමාට වාට්ටුවට එනකොට කලබගෑනියක් දකින්න ලැබෙන්නේ නෑ. ඇඳකට එක බැගින් රෝගීන් ඉන්න නිසා වාට්ටුවත් පිළිවෙළයි. හැබැයි සායන වටය ඉවර වුනු ගමන් ආයෙත් වාට්ටුවම පිරී ඉතිරී යන්න සෙනග.

මම අනිත්කොන ආපු මුල් දිනවල මේ ප්‍රදේශය ගැනත් පිරිස ගැනත් ලොකු වැටහීමක් තිබ්බේ නෑ. අම්මෝ එහෙ යන්නේ මොකද ? බුදුඅම්මේ එහෙද වැඩ කරන්නේ කියලා, හැමෝම ඇස් නළලට ගත්තා. 

ඒ අවදියේ ඔන්න ඉතින් පිරී ඉතිරී යන කායික වාට්ටු වල ගානටම වැහිකාලේ ආරම්භ වුණ අවදියේ වැඩ භාරගත් මේ අනිත්කොන ඩොකාට සිද්ධ වුණේ කෑමක් බීමක්වත් හරියට නොගෙන උදේ හවා ඒවාට්ටුවට වෙලා වැඩකරන්නයි. යුද්ධය ඉවර වෙච්චි කාලෙම නිසා ඒ ප්‍රදේශවල අලුතෙන් අමුතුම හිතන්න වෙච්චි බොහොම අමුතු ප්‍රශ්නතිබුණේ.

හැමෝම හිටියේ මොකද්ද ඊළඟට වෙන්නේ වගේ හිතුවිල්ලකින්. ඔහොම ඉතින් ඇතුල්වෙන රෝගීන් හැමෝම දිහා බොහොම ලොකුදයානුකම්පාවක් දැනුණා.

 ඒ අය බොහොම කරදර කාරී කාලයක් ගතකරලා, නිදහසක් ලබා ගත්තු අලුතම ඔවුන්ට බොහොම ලොකු ප්‍රශ්නගොඩක් තිබුණා. ආයේ ඉඩම් ගෙවල් දොරවල් ගොඩ නගාගන්න, ගම්මාන වලට ආයෙත් යන්න, නැතිවුණ හෝ අහිමි වුණ දරුවන්නෑදෑයින් හොයාගන්න, යුද්දෙයෙන් සහ ඒ ප්‍රදේශවල තිබුණු ත්‍රස්ත ක්‍රියා තාඩන පීඩන නිසා ඔද්දල් වුණ හිත් වලට සුවයක් ලබාගන්න. 

ඒඅය බොහෝ විට පිළිසරණ සෙව්වේ, රජයේ හමුදාවෙන් සහ ප්‍රධාන රෝහලෙන්. අපි වෙත එන බොහෝමයක් අය හරිම අහිංසකයි. ඔවුන්හා කතා බස් කරද්දී මගේ දෙනෙත් පවා තෙත් වෙනවා කඳුළු ඇවිදින් ඒ ඔවුන්ගේ ජීවිත වල පසුගිය වගතුග මා හමුවේ කියන නිසා.


ටිකෙන් ටික මම උත්සහ කළේ රටේ දුෂ්කරම පැතිවල සේවය කළ අපේ අත්දැකීම් ඔබ හමුවේ තියන්නයි. නමුත් ඇතැම් විට සමාජ සෞඛ්‍යය ජීවන ක්‍රම, යන මේ සියල්ලම මේ ලිපි ඔස්සේ අඩු නැතිව ලියවුණා. 

මං හිතන්නේ අපි කරන ලොකුම වැරැද්ද සාමාන්‍යමිනිස්සුන්ට අප ක්ෂේත්‍රය ගැන අවබෝධයක් ලබා නොදීමයි. මම කලින් ලියූ චීන්නු ස්මාර්ට් ෆෝන් එකෙන් ලෙඩ හොයන අතරේ අපේ අයගේ නොදැනුවත්කම ලිපියෙන්, ලියන්නට වුවමනා වුණේත් එයමයි. 

බටහිර වෛද්‍ය විද්‍යාව දියුණු වුණ රටවල නම් සමානාත්මතාවයබොහොම ජයටම සුරැකෙන නිසා, වෛද්‍යවරුන් සහ රෝගීන් අතර හෝ අනෙක් වෘත්තිකයන් අතරේ තියෙන පරතරයක් නැති තරම්. ඒත්කුමක් හෝ අභ්‍යාග්‍ය සම්පන්න හේතුවකට ලංකාවේ මෙන්ම ගොඩක් දියුණු වෙමින් පවතින රටවල හෙවත් තුන්වෙනි ලෝකයේ රට වලමේ තත්වය මෙහෙම නෙමෙයි. 

වෛද්‍ය වෘත්තිය කියන්නේ මිනිස්සුන්ගේ ජීවිත රැකගන්න, ජීවිතය තව දුරටත් හොඳින් පවත්වාගෙනයන්න උපකාර කරන වෘත්තියක්.... නමුත් අවාසනාවකට එය නුසුදුස්සන් අතටද පත්වෙනවා. තමන් උගතෙක් පණ්ඩිතයෙක්... මට තරම් එහා කෙනෙක් නැති බව ඔළුවට ගත්තම ඒ එක්කම අනුන් තලා පෙළන්න කරදර කරන්න පෙළඹෙනවා. හරියට නිකම් අර, පිහියකින්වෛද්‍යවරයෙක් සැත්කම් සිදුකර ජීවිත බේරාගන්නවා වගේම, මීනී මරුවෙක් පිහියෙන් ජීවිත හානි සිදු කරනවා, මස් වැද්දෙක් පිහියෙන්සතුන් මරනවා හා සේම ගෘහණියක් පිහියකින් ගෙදර ඉන්න අයට කන්න කෑම පිළියෙල කරනවා. 

මේ ක්ෂේත්‍රයෙත් එවැනි විවිධ අයබොහොමයි. 
සමහරු හිත් සුවපත් කරනවා සමහරු හිත් සුව නසනවා. 

අප අතරේ කවුරුත් එහෙමයි. අප වෙත එන හැම රෝගියෙක්ටමතියෙන්නේ එහෙම අමිහිරි අත්‍දැකීම්. බොරු කියන්නේ මොකටද එහෙම අත්දැකීම් වලට මුහුණ දෙන රෝගීන් අපිත් දැක ඇත්තෙමු. 

ඒත් ඒවා විවේචනය කරන්නට තරම් නොවන නිසා මම ඒ ගැන ලියන්නේ හෝ ඒ වැරදි හරි ගස්සන්නට නොයමි. ඒවෙනුවට අපි වෙනසක්ඇති කරන්නට සිතා ගත්තම හොඳයි නේද . Be the change you wish to see in this world !

Monday, February 10, 2014

ලැප්ටොප් එක තුවායෙන් එතීම, දැන් හැදෙන ළමයි සහ ෆේස් බුක්


අවුරුදු 3 වූ දෙවෙනි අයියගෙ පුතා, ලැප්ටොප් එකෙන් නොයෙක් ඒ වයසට හරියන අධ්‍යාපන සීඩී වල ඇති ක්‍රියාකාරකම් කරනවා මවුස් එකත් පාවිච්චි කරමින්. නමුත්  මම ලැප්ටොප් එකක් ඇල්ලුවේ වෛද්‍යවිද්‍යාලයේ හතර වන වසරේදී මට අනුකම්පා කරල පිටරට සිටින මාමා සහ නැන්දා විසින් අරන් දුන්නු එකක්. ඒකත් දූවිලි නොවදින්න තුවායකින් එහෙම ඔතාගෙන තමයි බෑග් එකේ දාගෙන එහෙ මෙහෙ ගියේ. ඉස්සර යුද්ධෙ කාලේ අගනුවර චෙක් පොයින් එකකදී එහෙම මගේ " තුවායෙන් ඔතපු ලැප් ටොප් එකට" ලැබුනේ හිනා සාගරයක්. ඒවගේම මා එක්ක යමින් ඉන්න යාළුවන්ගෙන් රැවුම් ගෙරවුම්. ඒක තමයි මේ තාමත් පාවිච්චි කරන්නේ. ඒත් ඉතින් අද කාලේ අවුරුදු තුනේ හතරේ දරුවත් දන්නවා ලැප්ටොප් එකක් ඔන් කරන හැටි. 
අපි දන්නවා අපි ඒ කාලේ එහෙම නොවුනු විත්තිය දැන් කාලේ ළමයි හරි ඇඩ් වාන්ස්, දන්නවා වැඩියි පණ්ඩිතයි. චාරයක් නෑ, කියනවට වඩා අපි මේ සමාජමය උඩු යටිකුරුවීමත් එක්ක ඇතිවුනු වෙනස තේරුම් ගන්න ඕනෑ. අපිට සෙල් ෆෝන් ලැබුනේ කැම්පස් යද්දී කියලා අලුත් පරම්පරාවත් එසේ විය යුතු නෑ. අපිට කම්පියුටර් ලැබුනේ විශ්ව විද්‍යාලේ යද්දී කියා අපේ දරුවන්ට පරිඝණක හෝ ඒ ආශ්‍රිත දැනුම නොදී ඉන්න උවමනා නෑ.

3 වසරේ එක්තරා දැරිවියක්, ඇගේ අක්කා කොල්ලෙක් සමග යහළු බව කී විගස අපේ පන්තියේ එකියක් ගුරුවරියට එය පැවසූ අයුරුත්, ඒ ගැන බොහොම ලොකු කලබලයක් ගුරුවරියගෙන් සිදු වූ අයුරුත් ඒ දැරිවිගේ දෙමාපියන් පාසැලට ගෙන්වූ අයුරුත් මට මතක් වේ. එවැනි පුවතක් 3 වසර කුඩා වුන් අතරේ හුවමාරු වීම මහා ලොකු දෙයක් ලෙස ඒ ගුරුවරියටත් පාසැලටත් අපටත් දැනුනේ ඇයිදැයි මා තවමත් සිතනවා... එකළ ඔවැනි දෑ ඇසීම අපට පුදුමයක් ගෙන දුන්නා පමණක් නොවේ, දිවිය ලෝකෙන් සුරංගනාවියන් ගෙනැවිත් දුන් බබාලාත්, දත් වැටුනම දත් ගෙනත් දෙන ලේන්නුත්, දොස්තර හොඳ හිත, හෝ හඬ කැවූ අර සිංහල කාටුන් ටිකත් පමණක්ම අපේ දැනුම් පතයට වැටුනු කාලයකි. නමුත් අද දරුවන් ඊට වඩා ගොඩක් ඉදිරියෙන් සිටිනවා. මුළු 3 වසර පන්තියක් බය බිරාන්ත කෙරූ අර සිදුවීම අද මොන්ටිසෝරි ළමයින්ටත් බොහොම සුළු සිදුවීමක්. පසු කාලීනව රූපවාහිනිය පුළුල් වීමත් මාධ්‍ය භාවිතය වැඩිවීමත් සමග අද දරුවන් අපට වඩා බොහොම ඉදිරියෙන් සිටිනවා. 

මෙන්න මේ වෙනස අඳුරගන්න බැරි වැඩිහිටියන් සිටින කල මෙවැනි බොහොම ඛේදනීය තත්වයන් ඇතිවෙනවාමයි.


තාක්ෂණික දැනුමෙන් පොහොසත් නොවූ ඒ කාලය...

යන්තම් ළමා විය පසුකරමින් යොවුන් වියට පා තබන දුවා දරුවන් , මීට අවුරුදු 10 - 20 කට  පෙර අපි වැඩෙන කාලයේ අපි සිටි මානසික මට්ටමේ සිටින්නන් නොවන විත්තිය හැමෝම තේරුම් ගන්න ඕනේ. ගුරු බවතුන් විශේෂයෙන්ම , ඔවුන්ගේ වයසත් සමග මේ අවුරුදු 20 ඇතුලත සිදුවූ සංස්කෘතික වෙනස්කම් සහ විවෘත සන්නිවේදනය තුලින් අපිට වඩා කලින් කුඩා කලම ඔවුන්ව ලෝකෙට විවෘත වෙනවා. දැන් බලන්න මේ ලියන මටත් උසස් පෙළ කරන අවධියේ... මොබයිල් ෆෝන් එකක් කියන දේ බොහොම අලුත් ආම්පන්නයක්. මැද පන්තියේ පවුලක් වුනු අපේ පවුලේ මෝබයිල් ෆෝන් එකක් තිබ්බේ පියාට පමණයි. ඒකත් ගඩොල් බාගයක් විතර බර අර නොකියා වර්ගයේ එකක්. බොහොම පරිස්සමෙන් තමයි පාවිච්චි කලේ. උසස් පෙළ ඉවර කරලා අවුරුද්දකට පසු විශ්ව විද්‍යාලයට ඇතුල්වෙද්දි තමයි මා අතට පියාගේ පරණ මෝබයිල් ෆෝන් එක ලැබෙන්නේ. ඒ වෙද්දි අපි පුරුදු වෙලා උන්නේ ගෙවල් වල තියෙන ලෑන්ඩ් ලයින් හෙවත් ටෙලිකොම් දුරකථන වලින් පණිවිඩ හුවමාරු කරගන්න. අපටම කියලා අතේ ගෙනියන්න පුළුවන් මොබයිල් ෆෝන් එකක් කියන දේ නිකම් හීනයක් වගේ. නමුත් අද වෙන විට ඒ තත්වය වෙනස්. මොන්ටිසෝරි යන කුඩා දරුවත් දන්නවා සෙල් ෆෝන් එකක් පාවිච්චි කරන්න, බොත්තම් ඔබන්න කතා කරන්න. 

මේ සංස්කෘතික, අධ්‍යාපනික, සහ සදාචාරාත්මක පුපුරා යෑම වටහා ගැනීමට උත්සහ කරමු...

මතකද වසර කිහිපයකට කලින්, පාසැලට මොබයිල් ෆෝන් එකක් ගෙනාවා කියා දඬුවම් ලැබ, අගනුවර උසස් බාලිකාවක හත හෝ අට වසරේ දියනියක් තමන්ගේ පාසැලේම වැසිකිළියක් තුල ගෙල වැල ලාගෙන මිය ගිය සිදුවීම. මතකද උසස් පෙළ හෝ සා පෙළ හරි හොඳ ප්‍රතිඵල නොලැබී මව් පියන් වැඩිහිටියන් වෙතින් එල්ල වූ බැනුම් හෝ පීඩනය නිසා දිවි නසාගත්තු දරුවන් ප්‍රමාණය ?

මා කායික වාට්ටු වල සේවය කරන කාලයේ, විභාග ප්‍රතිඵල පැමිණියා යැයි ඇසූනු විට අපි කියන්නේ " හපොයි එහෙනම් දිවි නසා ගැනීම් හෝ තැත්කිරීම් වැඩි වෙයි " කියලයි. මේ තත්වයේ වර්ධනයක් එන්න එන්නම දකින්න ලැබුනා.

 හැමදාම කිසියම් ඛේදනීය යමක් සිදුවුනවිට පමණක් ඒ ගැන කතා ලියලා, ෆේස් බුක් ස්ටේටස් යොදා කටමැත දොඩවා වැඩක් නෑ කියල මා හොඳින්ම දන්නවා. ඒ ඔස්සේ ඉදිරියට් පැමිණෙන වෙබ් පිටු වලිනුත් ෆේස් බුක් ස්ටේටස් වලිනුත්, අපිත් මේ කාලේ මෙහෙම දේවල් කලා, අපිට මෙහෙමයි ගුරුවරු සැලකුවේ යැයි කියවුනා.  මේ සිදුවී ඇති ව්‍යසන දිගින් දිගටම සිදුවුනොත් ආත්ම ශක්තියක් නොමැති දරුවන් ගොන්නක් සමාජෙට ඉතිරිවෙන්නේ. සීමාවාසික කාලයේ සිට මේ දක්වා නිතරම හදිසි තීරණ නිසා ජීවිතේ නැති කරගත් පුංචි ඈයෝ, එහෙම කරගෙන වෙලාවට ඉස්පිරිතාලේ ගෙනත් අපි බේරාගත්තු පුංචි එවුන් ඕනේ තරම් මට මුණගැසී තිබුනා., ඔව් ඔබ කියාවි දැන්නම් ඉන්නේ පුංචි එවුන් නොවන විත්තිය. නමුත් ළමා ලෝකය නැති කරේ අපි වැඩි හිටියෝමයි. ඒකට වගකියන්න ඕනේ දෙමාපියන් පවුල් පරිසරය වගේම ජන මාධ්‍ය සහ පාසැල්.  දරුවන් ගැන වඩා විමසිල්ලෙන් කටයුතු කළ යුතු කාලයක් මේ ඇවිත් තියෙන්නේ. ඉතා කුඩා ළමයි දිවි නහගන්නවා වගේ දේවල් අපි කුඩා කාලේනම් ඇසුවේම නැති තරම්.

ප්‍රින්සිපල්ගේ බැණ වැදීම් හමුවේ ෆේස් බුක් පින්තූර ප්‍රශ්නයක් එක්ක දිවි නසා ගත් දැරිය සම්බන්දයෙන් පුවත කණ වැකුනු මොහොතේ ඇත්තටම මට හිතට දැනුනු දුකත් තරහවත් එක්කම කණගාටුවක්. ප්‍රේම සම්බන්දතාවන් පැවැත්වීම දඬුවම් දිය යුතු වරදක් යැයි මට නම් සිතෙන්නේ නැත. නමුත් ඒ දේ සාධාරණීකරනය කරන්නත් බැරි තරම්. මොකද, පාසැල් පෙම දුර දිග ගිහින් අන්තිමේ අවුරුදු 14, 15 වියේදීම ගැබ් ගත් , දරුවන් වැදූ දියණියන් , තනිවුනු ළමා මව්වරුන් බොහෝමයක් මට එදත් අදත් හමුවෙන නිසා.

අපි කොහොමද මේ ප්‍රශ්නෙදී මධ්‍යස්ථව ක්‍රියා කරන්නේ ?

ඕක සාමන්‍ය දෙයක්, ඒ වයසෙදි ආදරේ කිරීම වරදක් නොවේ, අපිත් කලා, කියා වීර වැකි පළ කරනවාට වඩා ගැඹුරින් මෙයට පිළිතුරක් සෙවිය යුතුමය. මුලින්ම මෙවැනි අමනෝඥ ලෙස ක්‍රියා කරන ගුරුවරයින් ගැන පරීක්ෂා කල යුතුයි. අදාල බලධාරීන් මෙවැනි ගුරුවරුන් ගැන විධිමත් පරීක්ෂණ සිදු කර ඔවුන්ගේ මානසික තත්වය පරීක්ෂා කළ යුතුය. ළමා විය , පෙර ළමා විය, පසු ළමාවිය, නව යොවුන් විය යනුවෙන් ළමා මනෝ විද්‍යාව තුලින් ඔවුන්ගේ ගුරු අධ්‍යාපනයේ උගන්වන බව මා හොඳින්ම දන්නවා. අපේ විෂය මාලාවේ කවදාවත් සමාජ ආචාර ධරම හෝ සමාජ ප්‍රශ්න ගැන කතා කරන්න පීරියඩ් එකක් තිබ්බේ නෑ, අපේ පාසැලේ වුනත් ගයිඩන්ස් කවුන්සෙලර් කෙනෙක් සිටි බවක් මට මතක නෑ . නමුත් දැන් පවතින තත්වය තුල එසේ දරුවන්ගේ සිතට කතා කල හැකි ඔවුන්ගේ මනස වටහා ගන්නා ගුරුවරුන් සිටීම අත්‍යාවශ්‍යයි කියා මට සිතේ. 

මේ අනිත් කොණ විත්ති කතා වල ඔබට අනන්තවත් මෙවැනි දරු දැරියන් ගේ කතා දැක කියවා අපේ අවවාද, ප්‍රයත්නයන් සහ ඔවුන්ගේ ජීවිත ගොඩනැගීම් දිනුම් දකින්න ඇති. දරුවන් ගැන සැබැවින් කැක්කුමකින් ක්‍රියා කරන්නන් කල යුත්තේ මේ ගැන සමාජ පෙරළියක් ඇති කිරීමය එය බ්ලොග් ලෝකෙන් පටන් ගෙන ඇති වග දුටු විට මට බොහෝ සතුටක් දැනුනා. ඒ පරිඝණක ආශ්‍රිත රැකියාවැති, හෝ අඩුම තරමේ ෆේස් බුක් ගිනුම් ඇති වත්මන් දෙමාපියන් මේවා කියවාවි හැදේවි දරුවන් ගැන හිතාවි කියන සිතුවිල්ල නිසා. මෙන්න මේ  කියන දේ තේරෙනවද බලන්න.

1st group - දෙමාපියන් ඉන්නවා, දරුවන්ට ෆේස් බුක් තහනම්, අන්තර්ජාල තහනම්, ඒවගේම ඇතැම් විට රූපවාහිනී තහනම් කරපු. විශ්වාස කරන්න, දෙමාපියන්ට හොරෙන් , මිතුරන්ගේ ගෙවල් වලට ගොස්, ඔවුන්ගේ පරිඝණකයෙන් ෆේස් බුක් පාවිච්චි කරන, යහළුවන්ගේ දුරකථන මගින් අන්තර්ජාලය පරිශීලනය කරන දරුවන් අනන්තවත් මට මුණ ගැසෙනවා. දෙමාපියන්ට වහකදුරු හෙයින් ඔවුන් ඒ ගැන පවසන්නේත් නෑ. ඔවුන්ගේ ෆේස් බුක් නිසා සිදුවන ප්‍රේම අලකලංචි, කලබල, හෝ ඒ ගැන උපදෙස් ගන්න එන්නේ අපෙනි. ඒ ඔවුන්ගේ වෛද්‍යවරුන් වන අපි ඔවුන්ගේ මනසට වඩා ළංවී ඇති නිසාය, ඔවුන්ගේ ප්‍රශ්න වලට අපි වඩා සංවේදී නිසාය.  එසේ ෆේස් බුක්, අන්තර්ජාලය අජීර්ණ වූ දෙමාපියන් ගුරුවරුන් විදුහල්පතිවරුන් මේ දේවල් මොනවාද, මේවයින් දරුවන් ආරක්ෂා කරගන්නේ කොහොමද කියන දේ ගැන විමසිලිමත් විය යුතුයි.

2nd group - සමහර දෙමාපියන් සිටිනවා තම පරිඝණකයෙන් තම යොවුන් දරුවන්ට අන්තර්ජාලය පරිහරණයට වෙලාව වෙන්කර දෙන, ඔවුන්ගේ අධීක්ෂණය යටතේ ෆේස් බුක් පරිහරණය කරන, දෙමාපියන්ද ෆේස් බුක් ගිණුම් සාදාගෙන දරුවන් හා සම්බන්ද වෙන. එක අතකට මට හිතෙනවා ඔවුන් දිනුම් කියලා. තහංචි නැතිව හොර රහසේ පරිහරණය කිරීම් නැතිවීම තුලින් ඒ දරුවන්ට එය තවත් එක විනෝදාස්වාද දෙයක් පමණක් වෙන්නේත්, ලෝකයම එය නොවෙන්නේත් ඒ නිසාය. ඒ තවත් පැතිකඩකි.

ඒ එක්කම මට තවත් කාණ්ඩ දෙකක් පෙන්වා දෙනවා, හෙන් රි බ්ලොග් වෝකර් සහ ඇනෝනිමස් කියවන්නෙක්.

3rd group: (Majority is this.)ළමයින්ට අන්තර්ජාලේ එක්ක, ෆේස් බුක් එක්ක, ඕනෙ දෙයක් කරගෙන ඉන්න ඇරලා ඔහේ ඇස් කන් පියාගෙන නිර්වින්දනය වෙලා වගේ ඉන්න දෙමව්පියො. මේ අය අවංකවම ලමයි මොනවා කරනවද කියලා තේරුම් ගන්න තරම් දැනීමක් නැති නිසා හෝ නොසලකා සිටීම පහසුවක් නිසා හෝ, වෙනයම් හේතුවක් නිසා හෝ එහෙම කරනවා වෙන්න පුලුවන්. 

4 th group  : ළමයට ආදරේ වැඩිකමට කිසි දෙයක් තනියම කරගන්න දෙන්නෙ නෑ. ළමයාගේ හැමදේම පාලනය කරනව. අන්තිමට ළමයා දෙමව්පියන්ගෙ රූකඩ වෙලා. නිකම්ම ගේ ඇතුලට ජීවිතේ දිය වෙනවා. මේ ගැන මට පොතක් උනත් ලියන්න පුලුවන්. දෙම්ව්පියො පොඩ්ඩක් හිතනවනම් හොඳයි දරුවොන්ටත් ජීවිතයක් තියෙනව කියලා.

දෙමාපියනි මා ඉහත කරුණු දැක්වූ කාණ්ඩ ගැන සිතා බැලීම සහ ඔබ කුමන කාණ්ඩයක සිටින්නෙක්ද යන්න සිතා බැලීම ඔබ සතුය. ඔබට ඕනෑ හොරෙන් යමක් කර අමාරුවේ වැටෙන, ඇතැම්විට ඔබට අහිමි වෙන්නත් පුළුවන් දරුවන්ද නැත්නම් ඔබේ ඇස් මට්ටමේ සිට, සමාජයේ ඒ වයසේ දරුවන් අතර ප්‍රචලිත හෙයින් කැමති හෙයින් ඔබේ අනුදැනුම ඇතුව යම්කිසි තරමකට මේ දේවල් පරිහරණය තුලින් ඔබට හිමි වෙන දරුවන්ද ? කියන දේ තෝරා ගැනීම ඔබට බාරයි.

මට මතකයි අපි 10, 11 වසර වල සිටියදී අපිත් එකිනෙකා හා කතා කලේම සහෝදර පාසැල් වල පිරිමි ළමුන් ගැනමයි. පොඩ්ඩක් ඇහැට කනට පේන කොල්ලෙක් හිටියානම් ඔහු ගැන කුමක් හෝ කතාවක් ගොතනවා. අහවලා අහවලාට කැමතියි. අරයා අන්න අරයත් එක්ක යාළුයි, ස්කූල් බස් එකේ යන්නේ අර ඉස්කෝලෙ ගාවින්. ඔවැනි දෑ අනන්තවත් අපි අතරේ කතා වුනා. එකල බාල දක්ෂ ජම්බොරියකට ගියත්, තමා දෙස බැලූ හෝ ඉඟි කෙරූ කතා කෙරූ පිරිමි ළමුන් ගැන අපි අනන්තවත් කතා බස් වුනා...   10, 11 වසරේදී පන්තියේ බොහෝ කෙල්ලන්ගේ පෙම් පණිවිඩ ලියුම් පත් තැපැල්  පෙට්ටි වලට දැම්මෙව්වේ පාසැලේ සිට ගෙදරට පයින් සහ ඇතැම්විට බස් එකේ තනියම ගමන් කල මා ලව්වාය. ඒවා ගැන කවුරුත් කිසිමාකාරයකින් සැලකිල්ලක් දැක්වූයේද නැත. පාසැල් වේලාවේ එසේ අසුවූ පෙම් පත් කාඩ්, පෝස්ටර් ෆොටො උනත් පාසැල් වේලාවෙන් පසු සුළු අවවාදයක් කර නැවත පත් කිරීම හැරුණු කොට , අප පන්තිවල කිසිම කෙල්ලෙක්ට, දඬුවම් විඳින්න සිද්ධවූ බවක්වත් අඩු තරමේ ප්‍රසිද්ධියක් ලැබුනු බවක්වත් අපි නොදන්නෙමු. 

අපේ රිපෝට් කාඩ් එකක අඩු ලකුණක් තිබ්බයි කියලා දෙමාපියන් ගුරුවරුන් බැන්නත් අපි හිතුවේ පාඩම් කරලා ඊළඟ පාර හොඳට ලකුණු ගන්නවා කියලයි. එහෙම මානසිකත්වයක් අපි තුල ඇති වෙලා තිබ්බා. ඒකට විෂය මාලාව අනුභද්දිත පාඩම් මෙන්ම, කියවීම තුලින් අපිට ලැබුනු දැනුම සහ ආත්ම ශක්තිය වැඩියි කියලයි මට හිතෙන්නේ. අද වෙන විට විෂය මාලව කීප ගමණක් වෙනස් වෙලා. අපේ කාලේ සිංහල පොතේ පාඩම් නොවෙයි දැන් තියෙන්නේ. හැබැයි මේ ගැන විවේචනය කරන්න මම උත්සහ නොකරන්නේ, මම ඒ සම්බන්ධයෙන් දැන උගතෙක් නොවන නිසයි.

නව යොවුන් වියට පා තබන පිරිමි ගැහැණු දරුවන්ගේ, මනස සහ ශරීර ක්‍රියාකාරිත්වය හෝමෝන වෙනස් වීම් එක්ක ඔවුන්ට දරාගන්න තිබෙන දේවල් , පාසැල් විෂය මාලාව, ක්‍රීඩා හෝ අමතර පුහුණු කුසලතා, එක්කම ගෙවල් වලින් එන පීඩනය , දෙමාපියන් ගේ අඬදබර, ආර්ථික දුෂ්කරතා, විභාග නිසා ඇතිවන මානසික ආතතිය මේ දේවල් ඔක්කොම අත්දැකීම් අඩු ඒ කාලේ තනියම දරා ගන්න බැරි බව මේ කියවන ඔබත් ලියන මමත් හොඳින්ම අඳුරනවා කියා හිතනවා. 

බැනුමක්, කෝප වීමක් විවේචනයක් දරා ගන්න නොහැකි වීම ඇත්තෙන්ම කණගාටුදායකයි. දරුවන් ඇති දෙමාපියන් මීට වඩා සමාජ දැනුම ඔවුන්ට දීම අත්‍යාවශ්‍යයි. බැනුම් ගර්ජන නොසරුප් වැනි දෑ වලින් කඩන් වැටෙන හිත් ඇති දරුවන් මෙවැනි තත්වයන්ට ගොදුරු වෙනවා. විශ්වාස කරන්න, කුඩා කල ගුරුවරුන්ගෙන් බැණුම් දඬුවම්, (අපේ කාලේ ගහන්නත් අවසර තිබ්බානේ) ඊට පස්සෙ, විශ්වවිද්‍යාලයේ ගුරුවරුන්, ප්‍රොෆෙසර්ලගෙන්, ජේෂ්ඨයින්ගෙන් බැනුම්. වෛද්‍යවරයෙක් වී රැකියාවක් කරද්දී මේ දේ අඩුවුනාද  ? නෑ අපි, සීමාවාසික කාලයේ සිට අද දක්වා අපේ ජේෂ්ඨ වෛද්‍යවරුන්ගෙන් අහන බැනුම් කෑ ගැසීම්, බෙරිහන් දීම් කොතරම්ද ?, සායන වට වලදී  ලෙඩුන්, ඔවුන්ගේ නෑයින් සහ සමස්ථ කාර් යය මණ්ඩලය ඉස්සරහා, තමන් යටතේ වැඩ කරන දොස්තරවරුන්ටම බොහොම අසබ්‍ය විදියට බනින විශේෂඥයින් සිටිනා බව ඔබ දන්නවාද, අනන්තවත් අපේ උන්, ඇස් වල කඳුළු පුරවගෙන වෝඩ් රවුන්ඩ් කරපු අවස්ථා එමටයි. 

නමුත් ඒ හැම දේම ඉදිරියේ ආත්ම ශක්තියත්  , දරා ගැනීමේ ශක්තියත් ඉතිරි වී තිබුනු නිසා, බැනුමක් , දඬුවමක් නිසා ජීවිතය අවසානයි කියා හිතුවේ නෑ. අන්න ඒ තත්වයට එන්නට අපේ කුඩා උන් පුරුදු කරන්න ඕනෑ. ආත්ම ශක්තිය ඇති කරන දෑ මාධ්‍ය මගින් පෙන්විය යුතුයි. ජීවිතය නැති කරගැනීම යනු පිළිතුරක් නොවන විත්තිය ඔවුන්ට වටහා දිය යුතුයි.

විභාගයක ප්‍රතිඵල , ප්‍රේම සබඳතාවයක බිඳ වැටීම, ගුරුවරුන්ගේ බැනුම් හෝ වැඩිහිටියන්ගේ කෝපය, ජීවිතය නවත්වන නැතිකරන දෙයක් නොවන බව ඔවුන්ට වටහා දිය යුතුමයි.
මේ වෙලාවේ මට මගේ අම්මා දුන්නු අවවාද මතක් වෙනවා. "ඔය විභාගේ ඔයා පාස් උනත් ඔයා අපේ දුවමයි, ෆේල් උනත් ඔයා අපේ දුවමයි. යන්තම් පාස් උනත් ඇති පුතේ හිත නරක් කරගන්න එපා" මට මේ වචන නිසා වැඩියෙන් පාඩම් කරන්නත් වැඩියෙන් ලකුණු ගෙන ඔවුන් සන්තෝෂ කරන්නත් උවමනා වීම පුදුමයක් නොවේ. මගේ මුහුණු පොතේ ඉන්න යහළුවන් බොහෝ දෙනෙක්, ඔවුන්ගේ අලුත උපන් දරුවන්ට මෙන්ම අවුරුදු 3, 4 දරුවන්ටත් ෆේස් බුක් ගිනුම් හදා ෆොටෝ දමමින් ටැග් කරමින් සිටිනවා. ඒ දරුවන් යහළුවන් හමුවීම තියා මොන්ටිසෝරි යන්නත් කලින් අර අම්මගෙයි තාත්තගෙයි යහළුවන් පිරිස ෆේස් බුක් හරහා ඔවුන්ගේ යහළුවන් වෙලා. මේ වගේ ලෝකෙක , ෆේස් බුක් ගිනුමක ටැග් වීම නිසා බැනුම් අහන්න සිදුවෙන දැරිවිය, ප්‍රේම සම්බන්දතාවයක් පැවැත්වීම නිසා ද්වේශසහගත බැනුම්වලට ලක් වෙනවා.  සමාජ වෙනස්වීම් සංස්කෘතික උඩු යටිකුරුවීම් නොදන්නා ගුරුවරු ෆේස් බුක් පැමිණීම මේ තත්වය ඇතිවීමට තවත් හේතුවක් මේ එක එක මට්ටමේ දරුවන් පිරිසක් තේරුම් ගන්න, ඊට වඩා වෙනස්ම පරිසරයක සමාජයක ගොඩ නැගුනු ගුරුවරුන් හුරු කරොත් ඒකත් බොහොම වටිනවා. මොකද, අපෝ ඒක හරී භයානක දෙයක් කියන්න කලියෙන් හොයා බැලීම හෝ සිතා බැලීම වටිනවා. අපේ කාලේ ඔය ගුරු දෙගුරු රැස්වීම් වල කිව්වේ ටීවී තහනම් කරන්න. බලන්න දෙන්න එපා කියලයි , නමුත් අද වෙන විට කියන්නේ ෆේස් බුක් තහනම් අන්තර්ජාලය තහනම් කරන්න කියලයි.

සිද්ධ වෙන දේවල් එලෙසින් දිගටම සිදුවීමත්, වලක්වන්න බැරි ලෙස අප ඇද බැඳ තැබීමත් යන මේ කාරන  නිසා බොහොම කළකිරීමෙන් ඉන්න මාස ගණනාවක් ගෙවිලා ගියා. බාගෙට ලියවුනු කතා ගොඩක වර්ඩ් ෆයිල් අත පත ගගා ඉන්නේ, තවම හරියට හිත එකලස් කරගෙන ලියන්න බැරි වුන නිසාමයි අවුරුදු 4 තිස්සේ ලීවත් මේ බ්ලොග් එකේ මාසෙකට එකක් හෝ දෙකක් ලිපි පළ වෙන්නේත් ඒ නිසාමයි.

මෙන්න මෙවැනි දේවලුත් සිදු වෙනවාලු... පින්තූරය ගත්තේ ෆේස් බුක් එකේ හුවමාරු වූ පිටුවකින්

Wednesday, January 8, 2014

චීන්නු ස්මාර්ට් ෆෝන් එකෙන් ලෙඩ සෙවීම සහ අපේ අයගේ නොදැනුවත්කම

නෙළුම් කුළුණ හදන්න ඇවිත් ඉන්න චීන්නුත් අපේ අයට වඩා ඉදිරියෙන් ඉන්නවා කියලා දැනුනේ, දවසක්, රේඩියෝලොජි ඩිපාර්ට්මන්ට් එකට ආපු චීන්නු දෙන්නෙක් ඔවුන්ගේ එක්ස් රේ පරීක්ෂනයේ විස්තර සම්බන්ද කොළය සමග පැමිණ

“ඩොක්ටර් මොකද්ද මේ සඳහන් වෙන්නේ…” යැයි මගෙන් ඇසුවා, ඇහුවේ සිංහලෙන් නෙමෙයි, ඉංග්‍රීසියෙන්.

“මේ සඳහන් වෙන්නේ, early osteoarthritis “ කියලා මගේ කටින් පිටවෙද්දීම, චීන ගෑණු ළමයා කරේ, “පොඩ්ඩක් ඉන්න ඩොක්ටර්, මේකනේ ලෙඩේ ?” කියලා ඇගේ සාක්කුවෙන් ඇදලා ගත්තු, සැම්සුන්ග් එස් 4 එකෙන්, Google search කරපු එකයි. ඊට පස්සෙ මිනිත්තු පහක් විතර කියවලා, තව සයිට් එකකට ගියා, චීන සයිට් එකක් කියලයි තේරුනේ.

"හරි අපි තව  මාස ගාණක් මෙහෙ ඉන්න නිසා, මෙහෙ ඇඩ්මිට් වෙලා බෙහෙත් ගන්න අමාරුයි. මේ රෝගේ ගැන මට තේරෙනවා, කොහොමත් මේ අමාරුවත් එක්ක මෙයාට මෙහෙ වැඩ කරන්න බෑ.අපේ රටේ මේකට අපේ වෛද්‍යවිද්‍යාව සහ ඔබේ බටහිර වෛද්‍ය විද්‍යාව යන දෙකෙන්ම බෙහෙත් කරන නිසා අපි එහෙ යන්නම්.ස්තූතියි “ කියලා සමු ගත්තා.
මට හමු වුන පළමුවෙනි රෝගියා ඔහොම දෙයක් කියපු….
මම පුදුමයට පත් වුනා. ඒ එක්කම මට අපේ රෝගීන් ගැන මතක් වුනා..

සායන වලට පැමිණෙන්නන්, වාට්ටු වල ඇඩ්මිට් වෙන්නන් අතරේ මම දකින ප්‍රධානම දුර්වල කමක් තමයි ලෙඩ ගැන තියෙන නො දැනුවත් කම,
පරණ කාඩ් එකක් සායන පොතක් නොගෙනාවොතින් අපිත් අමාරුවේ වැටෙනවා…
ගොඩක් අය කියන්නේ ,
“මොකද්ද හාට් එකේ ප්‍රශ්ණයක් කියලයි කීවේ ඩොක්ටර්,
වකුගඩුවේ මොකද්ද කීවා
මතක නෑ,
දන්නේ නෑ,
තේරුනේ නෑ
ස්කෑන් කරන්න කීවා,
කරගන්න බැරි උනා,
ඇයි මට හොඳයිනේ ඉතින් බෙහෙත් නැවැත්තුවා.
දැන් ඇඟට අමාරුවක් නෑ, ඊට පස්සෙ ක්ලිනික් ආවේ නෑ…
ඇත්තටම මෙවැනි පිළිතුරු අහලා අහලා අපිටනම් පුරුදු වෙලා. මේ අය මෙහෙම උනත්, එංගලන්ත ඇමෙරිකාව වැනි දියුණු රටවල මිනිස්සු තමන්ගේ ලෙඩ ගැන, තම සිරුර ගැන, වගේම කන බොන ආහාර පාන ගැනත් උනන්දුයි.
ඒ විතරක් නම් මදැයි ලෙඩේ ගැන අපි කියන දේ උනත්, බෙහෙත් ගැන අපි දොඩන විස්තර කරන දේ උනත් මතක තියා ගන්නේම නැති තරම්.
“අම්මේ, දරුවාගේ මුත්‍රා වලට විෂබීජයක් ගිහින් තියෙන්නේ, එනිසා මේ බෙහෙත් දවස් හතක්ම බීලා, ඉවර වෙලා දවස් 3 කින් මූත්‍රා පරීක්ෂා කරගෙන ඒ රිපෝට් එකත් අරගෙන මෙහෙ එන්න ඕනේ, උණ ගත්තොත් , බඩ රිදිලා, අමාරු උනොත් ඉක්මනින් ගෙනෙන්න” දෙතුන් විටක් මෙය කීවාය. ලියාත් දුන්නෙමි.

ඊළඟ දවසේ තාත්තායි අම්මයි දරුවයි මහ රෑ එනවා.. වාට්ටුවට.

"ඩොක්ටර් මෙන්න මූත්‍රා පරීක්ෂණ රිපෝට් එක…"

මම @#$@%#^&@෴@  කටින් වචනයක් පිට කරේ නැති වුනත් හිතින් දහසක් තරු සහ ගිනි පිටවෙනවා…

“මම මොකද්ද කරන්න කීවේ ?”
“මූත්‍රා පරීක්ෂනයක් කරලා පෙන්වන්න කීවා ?‍”දරුවාගේ අම්මා කියයි.
“එතකොට බෙහෙත් ?”
“උණ ආවොත් දෙන්න කීවා” ආයෙත් ඇය කියයි.
“ඊයේ මමම කිව්ව එක මට මතක නැත්තෙ නෑ අම්මා, මේ බලන්න මේ කාඩ් එකෙත් පැහැදිලිව ලියලා තියෙනවා නේද ?”
තාත්තා අම්මාට ඔරවයි…
“අපිත් යන්න ටිකට් කපද්දි දෙතුන් ගමන මේ අම්මට කිව්වනේ” වාට්ටුවේ මිසීත් කතාවට එකතු වෙයි.
හරි කියන්න බලන්න ඊයේ මොනවද කීවේ කියලා.
“මුත්‍රා වලට විෂබීජයක් ගියොත් කියලා මුත්‍රා පරීක්ෂනේ කරගෙන, උණ ආවොත් බෙහෙත් දීලා පෙන්වන්න කිව්වා, හරිද ඩොක්ටර්” අම්මා ජයග්‍රාහි අයුරෙන් කියයි..

අපි සැවොම කට උත්තර නැතිව මුහුණෙන් මුහුණ බලාගතිමු.

මේකට ඇත්තටම හේතුව මොකක්ද කියලා, මෙවැනි පළමු සිදුවීමෙන් පසු මම හොයන්න පටන් ගත්තා,

බොහෝ අයට තමන්ගේ ලෙඩේ ගැන දැනගන්න උවමනාවක් නෑ. ඔවුන් හිතන්නේ දොස්තර සියල්ල දනී. සියලු ලෙඩ හොඳ කරයි. 
ඉස්පිරිතාල කියන්නේ මැජික් සිදුවෙන තැන්, දවස් දෙක තුනෙන් ලෙඩේ හොඳයි කියා පමණි. 
තමන්ට වැළදුනේ මොකක්ද කියලාවත් ඔවුන්ට දැනගන්න උවමනාවක් නෑ. 
අයි කිවු එක පහළද නැත්නම් නූගත් කමද කියලා වෙලාවකට හිතෙනවා… 

කලින් වැඩ කළ අනිත්කොණේ තරුණියකට විවාහ පත් වී වසර දෙකක් ගතවුනත් දරුවන් නැති හෙයින් ක්ලොමිෆින් නැමැති බෙහෙත පටන් අරගෙන ඊළඟට පැමිණෙද්දී සැමියාත් සමග එන්න යැයි පැවසීමු. ඇය  ඩිම්බ මෝචනයට දුන් පෙති සැමියාට පොවා, ඔහුත් සමග පැමිණියේ ජයග්‍රාහී අයුරෙනි…

මේ තත්වය මග හරවන්න, මම නම් කුමක් හෝ සංකීර්ණ රෝග විනිශ්චයක් හෝ ප්‍රතිකාර ක්‍රමයක් නම් එක වරක් කියා, නැවත වරක් මට කියන ලෙස රෝගියාට කියන්නෙමි. නමුත් තවම එක පාරක්වත්, හරියට නැවත කියන රෝගියෙක්, මවෙක් හෝ පියෙක් මට හමුවී නැත…
ඇදුම රෝගයට , ඉන්හේලරයට යොදන කරල්, දරුවාට පොවාගෙන , සායන පැමිණි මව , මෙන් දහසක් පිරිස මට හමු වන්නේ එහෙයිනි.

හවුස් එම් ඩී, නැමැති කතාවේ පෙන්වන ඇඳුම රෝගය හොඳ නොවන බව කියන ගැහැණියක්, ඉන්හේලරය පාවිච්චි කරන බව කියා, එය පාවිච්චි කරන්න යැයි කියූ විට සෙන්ට් බෝතලයකින් සුවඳ විළවුන් විඳින්නාක් මෙන් බෙල්ල දෙපැත්තට විදගන්නා අයුරු මට මතක් වේ….

තම දරුවාට ඇති ලෙඩේ මොකක්දැයි අහන මව් වරුන්ට පියවරුන්ට, තමන්ට වැළදි ලෙඩේ මොකක්දැයි අහන තරුණ තරුණියන්ගෙන් මම අහන්නේ, ඉන්ටර්නෙට් පාවිච්චි කරනවාද කියලයි. බොහෝ අය පරිගණක ආශ්‍රිත රැකියාවක් කරන අය වෙති. එහෙයින් මම ඔවුන්ට ලෙඩේ ගැන කියවිය හැකි, විශ්වාසදායී වෛද්‍ය ලිපි ඇති වෙබ් ලිපින ලබා දෙන්නෙමි.බොන බෙහෙත් මොනවද, ඒවායෙන් ඇඟට සිදුවෙන්නේ මොනවද කියවන්න මග පෙන්වන්නෙමි.

 ඊළඟ පාර ආවිට මට ඒ ගැන පවසන්නට ඔවුන්ට සිදුවෙන නිසා ඔවුන්ට අනිවාර්‍යයෙන් ඒවා කියවන්නට සිදු වේ. එසේ නැති රෝගියෙක්නම් මම පැහැදිලි ලෙස කියා, සිංහලෙන් උපදෙස් පොතේ ලියා දෙන්නෙමි.
අප රටේ බොහෝ දුබල දුර්වල කම්, අසාධාරණ අදමිටු කම් වලටත් හෙතුව මෙයම වේ…තමන්ගේ නොදැනුවත්කම නිසා සියල්ලන්ටම වැඳගෙන ඔළුව පාත්කරගෙන සිටියි.

 ඔවුන් කිසි දෙනෙක් දැනුවත් වීමට උවමනාවක් නැත. රවටන අය විසින් රවට්ටන්නේද, සල්ලි කාක්කන් විසින් මුදල් ගරන්නේද , සියල්ල අහිමි කරගන්නේද එහෙයිනි. මේකට හොඳවෙයි කියා විටමින් පෙති දෙන , පාට පාට, පිටි පෙති දෙන හොර වෙදුන්ට රැවටෙන්නේද එහෙයිනි.

ඕනෙම තැනකට, දෙයකට යන්න කලින් දැනුවත් වෙන්න. එතකොට ඔබව ලේසියෙන් කෙනෙකුට රවටන්න හැකි වෙන්නේ නැත.