Sunday, October 6, 2013

අනිත් කොණත්, මේ කොණත් කොයි දරුවත් දරුවෙක්

මා අභියසට පැමිණි අවුරුදු 8 ක් වයසැති කුඩා පැංචාගේ අතේ තිබුනේ ගෙදර මිදුලෙන්(වෙරළෙන්) අහුලා ගත් සිප්පි කටු ගොඩක් සහ චිත්‍රයකි... "මේ බලන්න ඩොක්ටර් මේවයේ එක එක රටා තියෙනවා..." සිප්පිකටු ගොන්නත් චිත්‍රයත් මට බව කියයි. චිත්‍ර ගැන කියා දී , ඝනකම් කොළ සපයා,ඔහුගේ උනන්දුව වැඩි කරපු මට ලැබුනු තෑගිය. "ඩොක්ටර්ට ගෙනියන්න කියලා දවස් ගාණක් තිස්සේ චිත්‍රේ ඇන්දා" මව කිවාය.
the painting he gave me

 ඔහුගේ පියාද දක්ෂ චිත්‍ර ශිල්පියෙකි නමුත් කරන්නේ මුහුදු යෑමයි....ඒ පවුලේ දරුවන් තිදෙනෙකි. නමුත් දෙදෙනෙක්ම තැලසීමියා රෝගී දරුවන් ය. ඉතින් මේ අම්මා මාසයක් පතා ඔවුන් ඉපදී මාස කීපයක් ගිය තැන සිට රෝහලට මේ දරුවන් සමග ලේ දෙන්න, යකඩ අඩු කරන බෙහෙත් ගන්න පැමිණේ.

"ඇයි චිත්‍ර වලින් ආදායමක් එන දෙයක් කරන්නේ නැත්තේ " ඔවුන්ගේ ආර්ථික ප්‍රශ්ණ වලට සහනයක් ලෙස මේ ඒකකයේ තැලසීමියා රෝගීන්ගේ අරමුදලෙන් මාස් පතා රු 6000 පමණ මුදලක් පවා ලබා දෙන නමුත්, මුහුදු යෑම ස්ථාවර රස්සාවක් නොවන නිසා ඔවුන් අප අභියස දිග අරින් ඔවුන්ගේ දුක් අඳෝනා අසාගෙන විඳගන්නත් වෙන්නේ අපටමයි.
(තැලසීමියා රෝගය ගැන බොහෝ දෙනෙක් මේ ලිපි නිසා මගෙන් විමසුවා. මා මුල්ම ලිපියක රෝගය ගැන, එය වැළදීම සහ ප්‍රතිකාර යන මේ දේවල් ගැන හොඳින් පැහැදිලි කරදුන්නා, මෙන්න මේ ලින්ක් එකෙන් කියවන්න තැලසීමියා රෝගය )

රටේ අනිත් කොණ වන උතුරු ප්‍රදේශයේදී මට හමුවුන සුභාෂන් ( අනවර්ථ නමකි) මතක් වේ. (සුභාෂන්ලාගේ කතාව පෙර කලෙක ලීවා) ත්‍රස්තවාදීන්ගේ ග්‍රහනයට ලක්ව ළමා සොල්දාදුවන් ලෙස යුද්ධයට මැදි වූ ඔවුන් යන්තම් දිවි ගලවාගත්තේ හමුදා භාරයට පත්වූ පසුය. යුද්ධය හමාර වූවාට පසු පුනුරුත්ථාපන කඳවුරේ සිටි ඔහු එහි සිටි දරුවන් හට උපදේශන සේවාව සැපයු අපට නිතර මුණ ගැසිනි, සුභාෂන් චිත්‍ර ඇඳීමේ දක්ෂ දරුවෙකි. තමාටත් වඩා බර ගිනි අවිය දී ඔහුගේ සියලු කුසලතා හැකියාවන් ත්‍රස්තයන් විසින් විනාශ කර තිබුනේය. නමුත් අප හමුවේ, පාට පැන්සල්, පාට තීන්ත පින්සල් ලැබ බොහෝ අලංකාර ලෙස අප ඒකකයේ බිත්ති පුරා චිත්‍ර ඇන්දේය. අති විශාල බොහොම උසස් ඝණයේ චිත්‍ර ! ඔවුන් ලියූ කවි සියල්ල අප අතට පත්කරේ බොහොම ලොකු සතුටකින්. ඒ කවි අතර , "අපට නව ජීවිතයක් ලැබුනා" යන අදහස තිබුනා.පොතක් වශයෙන් පළ කරන්නත් ඔවුන්ට අදහසක් තියෙනවා. ඒ ඔවුන් පිහිටවූ කලා සංගමය හරහා.

අනිත් කොණේ මට හමුවූ සුභාෂන් ද, රටේ මේ කොණේ රෝහලේ හමුවූ කුඩා පැංචාද බොහෝම දක්ෂ දරුවන් ය. සුභාෂන් බැට කෑවේ ආයුධ යුද්ධයෙනි, කුඩා පැංචා බැට කන්නේ ආර්ථික යුද්ධයෙනි. මට දුක මේ දරුවන් ඔවුන්ගේ දක්ෂතාවයන්ගෙන් ප්‍රයෝජන නොගෙන දෙමාපියන් සේ කුළීවැඩ කරන්නට පෙළඹුනොත් කියාය.

අනිත් කොණ දී හැම මසකදීම මානසික ඒකකයේ සායන වලදී හමුවූ ගැහැණු ළමුන් දෙදෙනා මට මතක් වේ. ඔවුන් දෙදෙනාම මානසික ආතතියට ලක්ව අප සායනයෙන් බෙහෙත් ගන්නා අයවලුන් විය. එක් අයෙක් උපතින්ම මානසික අබාධිත තත්වයට පත්වූ අයෙක් වන අතර ආදරයෙන් රැක බලාගන්නා මවගේ උත්සහයෙන් ජීවත් වේ. පියා ඇයව නොසලකා හැර ඇත.
"ඩොක්ටර් මේ මම මහපුවා " පිළිවෙලක් නැති මුත් මසා ඇති කොට්ට උර අප වෙත ගෙන එමින් ඈ පවසයි.

ඉතා උස, මහත ඇය හොඳ මනසකින් සිටියානම් නෙට්බෝල් බාස්කට්බෝල් වැනි උස ප්‍රයෝජනයට ගත හැකි ක්‍රීඩාවක යෙදෙන්නට තිබුනි. " තාත්තා මට ආදරේ නෑ. මං දිහා බලන්නෙවත් නෑ " හැමදාම එකම චෝදනාවය.
" ෂා දැන් හරි ලස්සනයිනේ... ගෙදරදි තරහා ගත්තේ නෑ නේද මේ මාසේ..." මගේ ප්‍රශ්ණ කිරීම් හමුවේ ඇගේ මුහුණ ප්‍රසන්න හිනාවකින් පිරී යයි. ඉස්සරහට ඇදී ඇති දත් ඇඳි පොඩි කාලෙම හරි ගැස්සුවානම් මේ දරුවා කොච්චර ලස්සනද ? මට සිතිනි.

 ඔවුන්ට උවමනා අගය කිරීම් ය. පැසසුම් ය. මුළු දිවියම දුක්බර වුනු ඒ දරුවන් හට අපෙන් එවැනි සහනයක් ලැබේනම් ඒ කොයිතරම් හොඳයිද මට සිතුනා. ඒ මැහුම් එතරම් හොඳ නැති වුනත් ඈ ආසාවෙන් කරන දේ නිසා අපි හැම ඇයට ප්‍රශංසා කෙරුවෙමු.  "දුව උස මහත කළු  නිසා ගොඩක් දුකෙන් ඉන්නේ, තාත්තා මේ දරුවා නොසලකා හැරියත්, මෙයාගේ හැඩරුව තාත්තා වගේමයි ඩොක්ටර්" ඒ අම්මා හඬා වැටේ.

කොයි දරුවත් දරුවෙක්... අපේ සමහර වැඩිහිටියන් හැම දරුවෙක් කෙරෙහිම එකම සෙනෙහසින් ක්‍රියා කලද බොහෝ අය එසේ නොවේ. අවුරුද්දකට සැරයක් ලෝක ළමා දින සැමරුම් වලදී දරුවන්ට ටොපි චොකලට් තෑගි දෙන සමාජසේවා ආයතන වලින් උනත් මීට වඩා යමක් දරුවන් වෙනුවෙන් කළ හැකියි කියා මා සිතනවා. සෑම ගමකම , නගරයකම ප්‍රජා සෞඛ්‍ය සේවා ආයතන මගින් දරුවන්ගේ මානසික වර්ධනය මෙන්ම ඔවුන් ජීවත් වෙන වටපිටාවෙන් දරුවන්ට එල්ලවන බාධා අනතුරු පිළිබඳ සොයා බැලුවොතින් කොයි තරම් හොඳද.